ජනාධිපති නියෝගය භාණ්ඩාගාරය නොතකා හරී ; තෙල් සංස්ථාවට ඇති ලංවිම ණය ගෙවන්න බැරිලු

ලංකා විදුලි බල මණ්ඩලයට සැපයු ඛනිජ තෙල් සඳහා ලංවිමය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිග මුදල් මහා භාණ්ඩාගාරයෙන් ගෙවන ලෙස ජානධිපතිතුමා පසුගිය දා කළ නියෝගය මහා භාණ්ඩාගාරය විසින් නොතකා හැර ඇති බව වාර්තා වෙයි.

එම මුදල්වලින් සැලකිය යුතු කොටසක් හෝ ගෙවන ලෙස තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට දන්වා ඇත්තේ තෙල් ලබා ගැනීමට තමන් සතුව ද මුදල් නැති බව කියමිණි.

විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවට රුපියල් බිලියන 97 ක් ණය වී සිටි අතර එයින් බිලියන 17 ක් පසුගිය දා ගෙවා තිබේ.

මේ වනවිට තවත් බිලියන 70 ක හිග මුදලක් ගෙවීමට ඇත.

ජනාධිපතිතුමා පසුගිය දා පැවතී සාකච්ඡාවක දී භාණ්ඩාගාරයට නියෝග කළේ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා එම හිග මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවා දමන ලෙස යි.

භාණ්ඩාගාරය ඒ අනුව කටයුතු කොට නැත.

එබැවින් තමන්ට ඇති හිග මුදලින් අඩු තරමින් බිලියන 22 ක් වහාම ගෙවන ලෙස තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ.

විදුලි බල මණ්ඩලය කියන්නේ එම ගෙවීම් කිරීමට තමන් සතුව මුදල් නැති බවයි.

මේ වනවිට තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට විශාල ලෙස ණය වී සිටින අතර තව දුරටත් ණය දීම බැංකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *