මහ රැජිනට කොරෝනා – බකිංහැම් මාලිගය නිවේදනය කරයි

බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය අද නිවේදනය කළේය.

95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ගැන පැය 24 පුරා විමසිල්ලෙන් පසුවන බවත් බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

‘කොවිඩ් 19’ වසංගතය බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වූ දා සිට මහ රැජින රැඳී සිටින්නේ ඇගේ වින්ඩ්සර් මාලිගයේය. ඇය පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා පමණක් නොව, බූස්ටර් එන්නත් මාත්‍රාව ද නියමිත පරිදි ලබා ගෙන ඇතැයි පැවැසෙයි.

එලිසබත් මහ රැජින බ්‍රිතාන්‍ය කිරුළ දරා වසර 70 ක් ගතවීම නිමිත්තෙන් මීට දින 10 කට පෙර වින්ඩර් මාලිගයේ දී සැමැරුම් උත්සවයක් පැවැත්විණි.

එලිසබත් රැජිනගෙන් පසු බ්‍රිතාන්‍ය කිරුළ හිමි වීමට නියමිත චාල්ස් කුමරු සහ  කැමිලා පාකර් ආදිපාදවරිය ද එම විශේෂ උත්සවයට සහභාගී වූහ.

ඊට දින දෙකකට පසු චාල්ස් කුමරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු විය. ඒ අහඹු ලෙස සිදු කළ කොරෝනා පරීක්ෂණයකදීය.
ඉන්පසු තවත් දින කීපයක් යද්දී කැමිලා පාකර් ආදිපාදවරිය ද ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනි. මොවුන් ද පළමු සහ දෙවැනි පමණක් නොව, බූස්ටර් එන්නත් ද ලබා ගෙන තිබේ.

චාල්ස් කුමරු ‘කොවිඩ් 19’ ආසාදිතයකු වූ අවස්ථාවේ පටන් වෛද්‍යවරු මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විමසිල්ලෙන් සිටියහ. සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය පැවැති බැවින්, වෛද්‍ය උපදෙස් අනුව, මහ රැජින ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර ඇය ආසාදිතයකු බව එහිදී තහවුරු විය.

මහ රැජින සියලු සෞඛ්‍ය නීතිරීතිවලට අනුව කටයුතු කරමින් සිටින බවත්, ස්වයං නිරෝධායනයට ලක් වී, සුළු රාජකාරිවල පමණක් නියැලෙනු ඇති බවත් බකිංහැම් මාලිගය වැඩි දුරටත් පවසා තිබේ.

(සී.එන්.එන්.)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *