මහ බැංකුවේ මැද පෙරදිග ධුත මෙහෙවර අසාර්ථකයි ; අලුතින් ඩොලරයක් වත් නැහැ !

වත්මන් විදේශ විනිමය අර්බුදයට මුහුණ දීමට ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් මැද පෙරදිග රටවල කළ ධුත මෙහෙවර අසාර්ථක වී ඇති බවත්, කලින් එකඟ වී තිබූ ඇතැම් ව්‍යාපෘති ආධාර හැරුණු විට කිසිදු මුදලක් මෙතෙක් ලැබී නැති බවත්, තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ණය ලබා ගැනීමේ අරමුණින් මහ බැංකු නියෝජිත පිරිසක් පසුගිය දෙසැම්බර් මාසයේ මැද පෙරදිග රටවල සංචාරය කළේ ය එහි දී ඕමානය කටාර්, සෞදි අරාබිය ඇතුළු රටවලින් කළ ඉල්ලීම්වලට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආකාරයේ යහපත් ප්‍රතිචාර මෙතෙක් ලැබී නැත.

ඩොලර් බිලියන තුනක ණය මුදලක් ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දීමට ඕමානයෙන් යෝජනාවක් ලැබී ඇති අතර ඒ සමග ඉදිරිපත් වූ කොන්දේසි නිසා එම මුදල ලබා නොගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට තිබේ.

මේ අතර ජපානය, කොරියාව, සහ රුසියාව යන රටවලින් ද ණය ලබා ගැනීමට මහ බැංකුව උත්සාහ දරා  ඇතත් එම උත්සාහයන් ද මෙතෙක් සාර්ථක වී නැත.

මෙතෙක් යම් ආධාර ප්‍රමාණයක් ලැබී ඇත්තේ, ඉන්දියාව චීනය, පකිස්ථානය සහ බංගලි දේශය යන රටවලිනි.

ශ්‍රී ලංකාව පරිප්පු සහ අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් ද ණය මුදලක් ඉල්ලා ඇති බව පසුගිය දා වාර්තා වී ය.

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන බව ශ්‍රී ලංකා රජයේ මැති ඇමතිවරුන් පසුගිය දා කළ ප්‍රචාරය ද අසත්‍ය බව පසුව හෙළි වී ය. චීන රජයේ නිලධාරීන් ප්‍රකාශ කොට තිබුණේ එබඳු පරිත්‍යාගයක් ගැන චීන රජය මෙතෙක් තීරණයක් ගෙන නැති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *