බෙල්ලටම හිරවූ ඉදිකිරීම් කර්මාන්තය – ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල්

ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය බොහෝ ද්‍රව්‍යවල හිඟයත් සමග ඒවායේ මිල ද අදහාගත නොහැකි අයුරින් ඉහළ ගොසිනි. පවතින මේ තත්ත්වය පුද්ගලයන්ට, පෞද්ගලික අංශයට සේම රජයේ සංවර්ධන කටයුතුවලට ද බලපා ඇතත් ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බවක් නොපෙනෙයි. මේ ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල් මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ ලිපියකි.

ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක හිමිකරුවකු වන ඒ මහතා පුරා අවුරුදු 30 ක් තිස්සේ ඉදිකිරීම් කර්මාන්තයේ නියැලෙයි. කර්මාන්තයේ පවතින ප්‍රශ්න සහ ඒවාට කළ යුතු පිළියම් පෝල් මහතා මෙලෙස දකියි.

ඉදිකිරීම් කර්මාන්තය ලක්ෂ දොළහකට රැකියා සපයා තිබෙන ක්ෂේත්‍රයකි. එලෙසම මෙරට විශ්වවිද්‍යාලවලින් තාක්ෂණික ආයතනවලින් කාර්මික විද්‍යාලවලින් බිහිවන ඉංජිනේරුවන්ට ප්‍රමාණ සමීක්ෂකවරයන්ට තාක්ෂණ නිලධාරීන්ට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා දෙන්නේ ද ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ආයතන හා සමාගම්වලිනි. 2020 පෙබරවාරි මාසයේදී කොරෝනා වසංගතය ලංකාවේ පැතිරීමත් සමග මේ කර්මාන්තයද අර්බුදයට ගොදුරු වෙයි. එහෙත් වර්තමාන ආණ්ඩුව මේ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා සුළු, මධ්‍යම සහ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ.

මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීම ඉන් එක් ව්‍යාපෘතියකි. නිවාස 50,000 ක් ඉදිකිරීම රජයේ තවත් ව්‍යාපෘතියකි. එසේම නගර අලංකරණ ව්‍යාපෘතියක් ද රජයෙන් ආරම්භ කර තිබේ. පාලම් 10,000 ක් ඉදිකිරීම ද නව රජයේ ව්‍යාපෘතියකි. ගම් දහසක් සංවර්ධනය කිරීම සේම ජල සම්පාදන ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක වෙයි. මධ්‍යම හා රුවන්පුර අධිවේගී මාර්ග ඉදිකිරීමද ඇරඹී තිබේ.

රජය පැත්තෙන් ඉදිකිරීම් කර්මාන්තයේ පැවැත්මට එසේ පියවර ගෙන තිබුණත් ඉදිකිරීම් සඳහා ගන්නා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අදහාගත නොහැකි ලෙස ඉහළ ගොසිනි. සිමෙන්ති එක් උදාහරණයකි.

ලංකාවේ මාසික සිමෙන්ති අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 625,000 ක් පමණ වෙයි. එහෙත් දැනට රටෙහි මාසයකට නිෂ්පාදනය කෙරෙන්නේ සහ රටින් ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් 555,000 පමණ ප්‍රමාණයකි.

ඒ අනුව මාසයකට හිඟවන සිමෙන්ති ප්‍රමාණය ටොන් 70,000 ක් පමණ වෙයි. ඒ හිඟය මත සිමෙන්ති සම්බන්ධයෙන් දැන් රටෙහි මහා අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නිසා පෞද්ගලිකව නිවාස ඉදිකරගන්නා ජනතාවත් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝත් වෙළෙඳ මාෆියාවකට හසුවී සිටිති.

මාසයකට හිඟවන සිමෙන්ති ප්‍රමාණය ටොන් 70,000 ක් පමණ වෙයි. ඒ හිඟය මත සිමෙන්ති සම්බන්ධයෙන් දැන් රටෙහි මහා අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නිසා පෞද්ගලිකව නිවාස ඉදිකරගන්නා ජනතාවත් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝත් වෙළෙඳ මාෆියාවකට හසුවී සිටිති.

සිමෙන්ති කොට්ටයක රජයේ සහතික මිල රුපියල් 1375 කි. එහෙත් ඉහත කී මාෆියාව නිසා දැන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2200 දක්වා ඉහළ ගොසිනි.

සිමෙන්ති මිල එසේ ඉහළ නංවා තිබෙන්නේ නිෂ්පාදකයන් හෝ ආනයනකරුවන් නොවේ. නිෂ්පාදකයන් හා ආනයනකරුවන් වෙළෙඳපොළට සිමෙන්ති නිකුත් කරන්නේ කොට්ටයක් රුපියල් 1300 බැගිනි. එහෙත් වෙළෙඳ නියෝජිතයන් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සල් හිමියන් පාරිභෝගිකයන්ට සිමෙන්ති අලෙවි කරන්නේ රුපියල් 1800 සිට රුපියල් 2200 අතර මිලකටය.

සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට සේම ජනතාවටත් සිමෙන්ති නිපදවන හෝ රටින් ගෙන්වන සමාගම් වෙත ඍජුව ගොස් සිමෙන්ති මිලදි ගත නොහැකිය. ඒ හැකියාව තිබෙන්නේ මහා පරිමාණ ඉදිකිරීම්කරුවන්ට පමණකි. සිමෙන්ති සම්බන්ධයෙන් පවතින මේ මාෆියාව නිසා ජනතාවත් සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවෝත් තම ඉදිකිරීම් කර ගැනීමට නොහැකිව අසරණව සිටිති.

පෞද්ගලිකව නිවාස ඉදිකරගන්නා අයත් රජයේ ඉදිකිරීම් කරන සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවනුත් තම ඇස්තමේන්තු සකසා තිබෙන්නේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස ගණන් තබමිනි. ඒ නිසා විවෘත වෙළෙඳපොළේ දැන් පවතින කෘත්‍රිම මිලට සිමෙන්ති මිලදී ගෙන ඉහත කී අයට ඉදිකිරීම් කළ නොහැකිය. ඒ සියලු දෙනා දැන් මුහුණ දී සිටින්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයකටය. ඒ නිසා දැන් බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ රජයේ ඉදිකිරීම් ටෙන්ඩර් ලබාගැනීමට ඉදිරිපත් නොවෙති. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහි සිටින සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සංඛ්‍යාව 7000 ක් පමණ වෙයි. ඒ සියලු දෙනා ඉහත ප්‍රශ්නවලට මුහුණ දී සිටිති. රටේ පොදු ජනතාවද මේ වෙළෙඳ මාෆියාව නිසා තම ඉදිකිරීම් කරගත නොහැකිව අසරණව සිටිති.

පෞද්ගලිකව නිවාස ඉදිකරගන්නා අයත් රජයේ ඉදිකිරීම් කරන සුළු හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවනුත් තම ඇස්තමේන්තු සකසා තිබෙන්නේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් ලෙස ගණන් තබමිනි. ඒ නිසා විවෘත වෙළෙඳපොළේ දැන් පවතින කෘත්‍රිම මිලට සිමෙන්ති මිලදී ගෙන ඉහත කී අයට ඉදිකිරීම් කළ නොහැකිය. ඒ සියලු දෙනා දැන් මුහුණ දී සිටින්නේ දැවැන්ත මූල්‍ය අර්බුදයකටය. ඒ නිසා දැන් බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ රජයේ ඉදිකිරීම් ටෙන්ඩර් ලබාගැනීමට ඉදිරිපත් නොවෙති.

2020 පෙබරවාරි මාසයට පෙර එනම් කොරෝනා වසංගතය පැමිණීමට ඉහත කාලයේදී සිමෙන්ති සමාගම් සේම වෙනත් ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි සමාගම්ද තම ලාභාංශ වැඩි කරගත්තේ සහ තම පැවැත්ම සුරක්ෂිත කරගත්තේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් නිසාය. එහෙත් ඉහත කී සමාගම්වලට අද ඒ අතීතය අමතකය. එදා ඔවුහු තම භාණ්‍ඩ විකුණා ගැනීමට අප හඹා පැමිණියහ. අද අපටත් රටේ පොදු ජනතාවටත් ඔවුන් පසුපස යාමට සිදුවී තිබේ. මේ තත්ත්වය සිමෙන්ති සම්බන්ධයෙන් පමණක් පවතින්නක් නොවේ.

වානේ කම්බි, විදුලි උපාංග, ඇලුමිනියම්, මාර්ග ඉදිකිරීමට ගන්නා තාර හා වෙනත් දේශීය අමුද්‍රව්‍ය ඇතුළු සියල්ල සම්බන්ධයෙන් පවතින්නේ දරාගත නොහැකි අසාධාරණ මිලකි. නිවසක් හෝ ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය වන භාණ්‍ඩ සංඛ්‍යාව 200 කට අධිකය. ඒ භාණ්ඩවලින් සියයට 90ක් පමණම ආනයනය කරන ඒවාය. ඒ භාණ්‍ඩ මිල එසේ ඉහළ යාම අස්වාභාවිකය. ලෝක වෙළෙඳපොළෙහි ඇතැම් භාණ්‍ඩ මිල ඉහළ ගොස් තිබෙන බව සත්‍යයකි. එසේම නැව් ගාස්තු ඉහළ ගොස් තිබෙන බව ද අසත්‍යයක් නොවේ. ඊට සාපේක්ෂව යම් මට්ටමකින් භාණ්ඩ මිල ඉහළ යා යුතු බව ද සත්‍යයකි.

එහෙත් අද දේශීය වෙළෙඳපොළේ මිල ඉහළ යාම අස්වාභාවිකය. 2020 පෙබරවාරි මාසයේ සිට වෙළෙඳ මාෆියාව නිසා මිල ඉහළ යාම සියයට 100 ක් පමණ බව අප කාටත් ප්‍රත්‍යක්ෂ සත්‍යයකි. වානේ කම්බි මිල සියයට 80කින්ද සින්ක් ඇලුමිනියම් ෂීට් මිල සියයට 130 කින් පමණද ඉහළ ගොසිනි. දේශීයව නිෂ්පාදනය කරන ටයිල් මිලද සියයට 35 කින් පමණ ඉහළ ගොස් තිබේ. ටයිල් නිෂ්‍පාදනය සඳහා ආනයනය කරන්නේ අදාළ රසායනික වර්ග පමණකි. අනෙක් අමුද්‍රව්‍ය සියල්ල සපයා ගන්නේ රට ඇතුළෙනි. එසේ තිබියදී ටයිල් මිල සියයට 35 කින් ඉහළ යාම සාධාරණීයකරණය කරන්නේ කෙසේද? මේ මාසේ 07 වැනිදා සිට ඇලුමිනියම් මිල සියයට 28 කින් ඉහළ දමා තිබේ.

කොරෝනා වසංගතය ආරම්භ වූ පසුව ගත වූ අවුරුදු දෙකේදී ඇලුමිනියම් මිල සියයට 60 කින් පමණ ඉහළ ගොසිනි.
භාණ්ඩ මිල මෙසේ ඉහළ යාම සාධාරණ ද යුක්ති සහගත ද කියා සොයා බලන ක්‍රමවේදයක් හෝ යාන්ත්‍රණයක් රටෙහි නොපවතී. ඒ වගකීම පැවරී තිබෙන පාරිභෝගික අධිකාරිය නිහඬය. යම් භාණ්ඩයක් වරායට පැමිණෙන විට මිල කීයද බදු ගෙවූ පසු මිල කීයද කියා පාරිභෝගික අධිකාරියට ඉතා පහසුවෙන් සොයාගත හැකිය. අනතුරුව සාධාරණ ලාබයක් තබාගෙන විකිණිය යුත්තේ කීයට දැයි නියම කිරීමේ හැකියාව හා බලය පාරිභෝගික අධිකාරියට තිබේ. එහෙත් ඒ අධිකාරිය එසේ ක්‍රියාත්මක නොවෙයි.

එපමණක් නොව අසාධාරණ හා අයුක්ති සහගත වෙළෙඳාම නතර කිරීමට තමන් සතු බලයද ක්‍රියාත්මක නොකරයි. පාරිභෝගික අධිකාරියේ ඒ නිෂ්ක්‍රීය පිළිවෙත නිසා අතරමැදියන්ගේ හා වෙළෙන්දන්ගේ මාෆියාව හිස ඔසවා තිබේ. මා මේ කතා කරන්නේ මා නියෝජනය කරන ශ්‍රේණියේ ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් නොවේ. සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම්කරුවන් 7000 ක් සහ පීඩිත පොදු ජනතාව වෙනුවෙනි.

වර්තමාන රජය දහසකුත් එකක් ආර්ථික අර්බුද මැද රටේ යටිතල පහසුකම් සංවර්ධනයට 2020 හා 2021 වසරවල අයවැයෙන් රුපියල් බිලියන 20 ක් වෙන්කර තිබේ. ඉන් අනාවරණය වන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම රජය අවබෝධ කරගෙන තිබෙන බවය. එදාවේල සොයා ගන්නා පුද්ගලයන් අතරින් වැඩි පිරිසක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන බව රජය ද දනියි. රජයේ ඒ අරමුණු ජය ගැනීමටද පවතින වෙළෙඳපොළ මාෆියාව හරස් වෙයි. ඒ මාෆියාව හමුවේ මුනිවත රකින පාරිභෝගික අධිකාරියද වක්‍රව දායක වන්නේ රජයේ අරමුණු සුනුවිසුනු කර දැමීමටය. පවතින මේ තත්ත්වය දුරු කිරීමට රජය වහාම මැදිහත් විය යුතුය.

එසේ නොවුණොත් බිඳ වැටෙන්නේත් අකර්මණ්‍ය වන්නේත් රජයේම ව්‍යාපෘතිය. රටේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ගන්නා උත්සාහය බිඳ වැටෙන අතර ඒ සඳහා වෙන් කළ මුදල් ද අපතේ යයි. ඉදිකිරීම්කරුවකුගේ බිරිඳට රැකියාව නැති වුණොත් එය බලපාන්නේ ඔහුගේ ගෙදරට පමණකි.

එහෙත් ඉදිකිරීම්කරුවන්ට තම රැකියාව නැති වුණොත් එය රටේ ජනගහනයෙන් ලක්ෂ 12කට බලපායි. ඇතැම් විට ලක්ෂ ගණනකට රැකියා ද නැති විය හැකිය. රජය මේ අනතුර ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතු බව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු අපගේ විශ්වාසයයි.

රටේ යටිතල පහසුකම් දියුණුවේදී රජය මාර්ග සංවර්ධනයට ප්‍රමුඛතාවක් පිරිනමයි. ඒ මාර්ග ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉතා කෙටි කාලයකදී සැලසුම් සහගත වැඩපිළිවෙළක් දියත් කිරීමට මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා කටයුතු කළ අයුරු ඉතා ප්‍රශංසනීයය. ඒ සම්බන්ධයෙන් අපි රජයටත් ස්තුතිය පුදකරමු. එහෙත් පවතින ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ගිවිසුම් ප්‍රකාරව මුදල් නොගෙවීමය. එහිදී සිදුවන ප්‍රමාදය නිසා ඉදිකිරීම්කරුවෝ ඉතා අපහසුවට පත්ව සිටිති.

මේ තත්ත්වයට අප වඩාත් මුහුණ දෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය සමග කරන ගනුදෙනුවලදීය. මේ තත්ත්වය අමාත්‍යංශ ලේකම්තුමා නොදන්නා බව අපේ විශ්වාසයයි. එහෙයින් ඒ පිළිබඳව සොයා බලා ඒ ප්‍රශ්නය නිරාකරණය කරදෙන්නැයි අපි අමාත්‍යංශ ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිමු. අවස්ථාවක් දෙන්නේ නම් අපට එතුමා දැනුවත් කළ හැකිය. අප ඉල්ලන්නේ සාධාරණ හා යුක්ති සහගත විසඳුමකි.

අදාළ ගෙවීම් අදාළ ඉදිකිරීම්කරුවාට දින 28 ක් ඇතුළත ගෙවිය යුතුය. එසේ නොකරන්නේ නම් ඒ බිල්පත් සඳහා එවකට මහ බැංකුවෙන් නියම කර තිබෙන පොලී අනුපාතයට තවත් සියයට එකක් (01%) එකතු කර ප්‍රමාද ගාස්තුවක් ඉදිකිරීම්කරුවාට ගෙවිය යුතුය. මහ බැංකුවේ නියමිත පොලී අනුපාතය සියයට 8ක් නම් ප්‍රමාද ගාස්තුවක් ලෙස සියයට 9 ක් ගෙවිය යුතු බව රටේ පවතින නීතියයි.

එහෙත් කිසිම රාජ්‍ය ආයතනයක් එසේ ක්‍රියාත්මක නොවෙයි. රාජ්‍ය ආයතන හා නිලධාරීන් ගිවිසුම් කොන්දේසි කඩන්නේ එලෙසිනි. ඉදිකිරීම් උපදේශක සේවා ආයතන හා ඒවායේ සිටින ඇතැම් නිලධාරීන් ද ක්‍රියාත්මක වන්නේ එලෙසිනි. ඔවුහු රාජ්‍ය නිලධරයෝය. රටේ නීතියෙන් ගිවිසගත් පිළිවෙළට කටයුතු කිරීමට ඔවුහු බැඳී සිටිති. එහෙත් ඒ බැඳීම් පසෙක ලා ඔවුහු තම වගකීම් පැහැර හරිමින් රජයේ අරමුණු හා වැඩපිළිවෙළට හරස් වෙති. ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ මේ ක්‍රියා හේතුවෙන් ඉදිකිරීම්කරුවෝ දැවැන්ත අර්බුදයකට ලක්ව සිටිති.

ඉදිකිරීම්කරුවන්ට තමන් ගිවිස ගන්නා දිනයේදී වැඩ නිම කිරීමට සිමෙන්ති හිඟය හා රටේ නීතියට පටහැනි සිමෙන්ති මිල අතකින් හරස් වෙයි. අවශ්‍ය ටයිල් ලබා ගැනීමටද මාස තුන හතරක් බලා සිටීමට සිදුවෙයි. බුමුතුරුණු සහ විදුලි සෝපාන ආනයනය කර ගැනීමටද බොහෝ කාලයක් ගත වෙයි. ඊට හේතුව ඒවා ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි (එල්.සී.) විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් බැංකුවල නැතිකමය. මේ කී නොකී හේතු නිසා ගිවිසගත් කාලයේදී ඉදිකිරීම් නිම කළ නොහැකිය.

ඉදිකිරීම්කරුවන්ට තමන් ගිවිස ගන්නා දිනයේදී වැඩ නිම කිරීමට සිමෙන්ති හිඟය හා රටේ නීතියට පටහැනි සිමෙන්ති මිල අතකින් හරස් වෙයි. අවශ්‍ය ටයිල් ලබා ගැනීමටද මාස තුන හතරක් බලා සිටීමට සිදුවෙයි. බුමුතුරුණු සහ විදුලි සෝපාන ආනයනය කර ගැනීමටද බොහෝ කාලයක් ගත වෙයි. ඊට හේතුව ඒවා ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි (එල්.සී.) විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් බැංකුවල නැතිකමය. මේ කී නොකී හේතු නිසා ගිවිසගත් කාලයේදී ඉදිකිරීම් නිම කළ නොහැකිය.

එහෙත් ඇතැම් රාජ්‍ය නිලධාරීහු සහ ඇතැම් උපදේශක ආයතනවල සිටින ඇතැම් නිලධාරීහු රටේ පවතින යථාර්ථය ගැන අවධානය යොමු නොකර ඉදිකිරීම්කරුවන්ට දඩ ගසමින් ඉදිකිරීම්කරුවන්ට තලති, පෙළති. ඔවුන්ගේ වගකීම් පැහැර හැරීම නිසා අපට සිදුවන පාඩුවලට ප්‍රමාද ගාස්තු නොගෙවන ඇතැම් රාජ්‍ය නිලධරයෝ අපට දඩ ගසති. අප පීඩාවට පත්කරති. සිමෙන්ති හා ටයිල් නැතිකම නිසා ඉදිකිරීම් පමාවන බව කී විට ඇතැම් නිලධාරීහු සිමෙන්ති හා ටයිල් නැති බව සඳහන් ලිපි ඒවා නිපදවන හා ආනයනය කරන සමාගම්වලින් ගෙනැවිත් දෙන්නැයි අපට නියෝග කරති. ඇතැම් රාජ්‍ය නිලධාරීහු ඒ තරමටම රටේ පවතින තත්ත්වය නොදනිති. නොඑසේ නම් දැන දැනම අපට තලති.

ඉදිකිරීම් කාලය දිගුකර ගැනීමට යාමේදී නිලධාරීන් කටයුතු කරන්නේ යථාර්ථයට පිටුපාමිනි. ඔවුන් එසේ අපට තැලීමෙන් සිදු වන්නේ අප අධෛර්යමත් වීමය. ඉදිකිරීම්කරුවන් එසේ වූ කල කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද? කර්මාන්තකරුවා කඩා වැටුණු කල රජයේ සංවර්ධන ව්‍යාපෘති ද කඩා වැටෙයි. එසේ නම් ඊට වගකිව යුත්තෝ ගිවිසුම් ප්‍රකාරව සහ රටේ පවතින යථාර්ථය තේරුම් නොගෙන කටයුතු නොකරන රාජ්‍ය නිලධාරීහු නොවෙත්ද? එවැනි නිලධාරීන්ගේ කටයුතු නිසා ඇතැම් රාජ්‍ය ව්‍යාපෘති දැනටත් අතරමග නැවතී තිබේ. ඒ තත්ත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තෝ උපදේශන සේවා සපයන ආයතනවල සිටින ඇතැම් නිලධාරීහුය.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයක් පවතින්නේ ඉදිකිරීම් කර්මාන්තයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සිටින ඇතැම් දූෂිත සහ අකර්මණ්‍ය නිලධාරීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා ජනාධිපතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් නොදන්නා නිසාද විය හැකිය. ඉදිකිරීම්කරුවන්ට දිය යුතු සහයෝගය නොදී ඔවුන්ට තැලීමෙන් හා පෙළීමෙන් සිදු වන්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩා වැටීමය. රජයේ ජනතා සේවය ඇණහිටීමය. මෙසේ කීමෙන් අප බලාපොරොත්තු වන්නේ රජය දැනුවත් කිරීම මිස රජය අපහසුතාවට පත් කිරීමට නොවේ.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උප සභාපති ඩැරින්ටන් පෝල්

සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්

ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *