සාලාව කදවුරේ අවි ගබඩාවේ පිපිරරීම සැක සහිතයි – වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා.

ජනතාව ගැවසෙන ස්ථාන වලින් අවි ගබඩාවන් ඉවත් කිරීමට රජය කටයුතු කළයුතුයි. මෙය පසුගියදා කොස්ගම, ශාලාව ප‍්‍රදේශයේ දී සිදුවූ සිදුවීම සිදුවීමට පෙර කළයුතුව තිබූ දෙයක්ව තිබුණා. නමුත් අපි දන්නවා, පහුගිය අවුරුදු 20ක කාලය පුරාම මෙම ආයුධ ගබඩාව මේ ආකාරයෙන් මේ ස්ථානයේ පැවතී තියෙනව. යුද්ධය පවතිද්දිත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය සක‍්‍රිය කාලෙත් මේ ආයුධ ගබඩාව මේ ආකාරයෙන් පැවතුණා. ඊයේ පෙරේදා වන විට තමයි මේ අලූත් තත්ත්වය හටගත්තෙ. මේ පිළිබඳව යම් යම් සැකයන් විවිධ අංශවලින් මතුවෙමින් තියෙනව. මෙය හුදෙක් තාක්‍ෂණික දෝෂයක් ද? නැත්නම් ස්වභාවිකව ඇති වූ තත්ත්වයක් ද? එසේ නොවේ නම් මෙය පිටුපස යම් ආකාරයක සංවිධානාත්මක මැදිහත් වීමක් තිබුණාද? ඒ පිළිබඳව යම් යම් සැක සහිත කාරණා මතුවෙමින් තියෙනව. විවිධ අංශවලින් මේ පිළිබඳ විමර්ශනයන් කෙරීගෙන යනව. මේ ඇති වූ තත්ත්වය පිළිබඳ විවිධ අදහස් පළවෙනව.
අපි දන්නා දෙයක් තමයි පසුගිය ජනවාරි 8 වෙනිදා ඇති වූ දේශපාලන හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය නොඉවසන, ඊට අනුගත නොවන කණ්ඩායම් බොහොමයක් සිටිනව. පසුගිය පාලන තන්ත‍්‍රය මෙහෙය වූ, එම පාලන තන්නත‍්‍රය බාරව කටයුතු කරපු ඒ පවුල අදටත් ඔවුන් පරාජිතයන් බවට පිළිගන්න සූදානම් නැහැ. ඔවුන් මේ රටේ ජනතාව ප‍්‍රතික්‍ෂේප කරන ලද පිරිසක් බවට දුන් ජනතා තීන්දුව පිළිගැනීමට අදටත් සූදානමක් නෑ. ඒ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවයයි. ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ස්වභාවය නිසාම මේ ප‍්‍රශ්නයේදී අපට යම් යම් සැක සංකා මතුවෙනව.
හිටපු පාලක පවුල, හමුදාවන් (විශේෂයෙන්ම යුද හමුදාව* තමන්ට අවශ්‍ය කරන විදිහට මෙහෙය වූ බව කවුරුත් දන්නව. පහුගිය පාලන තන්ත‍්‍රයේ මිලිටරි පාලනය බාරව කටයුතු කරපු ඒ පාලක පවුල, ඒ පවුලේ සහෝදරයන් ඒ මිලිටරි යාන්ත‍්‍රණය තමන්ට අවශ්‍ය කරන විදිහට පාවිච්චි කෙරුව. හමුදාව, විශේෂයෙන් බුද්ධි අංශ යුද්ධය ජයග‍්‍රහණය කිරීමට පමණක් නෙමයි, ඊට පසුවත් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයන්, තමන්ගේ පුද්ගලික ප‍්‍රශ්න විසඳාගැනීම සඳහා, විවිධ ජන කොටස් අතර තම බලය පතුරුවා හැරීම සඳහා ඒ යාන්ත‍්‍රණයන් යොදා ගත් බව අපි හොඳින් දන්නා දෙයක්. ඒ නිසා මෙවැනි සිදුවීමක් ඇති වූ විට තිබෙන ගැටළුව තමයි මේ ප‍්‍රජාතාන්ත‍්‍රික පරිවර්තනය පිළිනොගන්නා මෙවැනි ප‍්‍රභූ පවුලක් ලේසියෙන් තමන්ගේ බලය තමන්ට අහිමි වූ බව පිළිගන්න සූදානම් නෑ. ඒ නිසා අහිමි වූ බලය තමන්ට නැවත ලබාගැනීම සඳහා තමන්ට හැකි උපරිමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන ක‍්‍රමයකින් බලය ලබා ගැනීමට උත්සාහයක් දරණව.
එවැනි බල තන්හාවකින් පෙළෙන පාළක පවුලක් තමයි පසුගිය ජනවාරි 8 වෙනිදා පරාජයට පත් කෙරුවෙ.  ඒ නිසයි අපි රජයට කියා සිටින්නේ අවි ගබඩාව සම්බන්ධයෙන් ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි. එය තාක්‍ෂණික දෝෂයකින් සිදු වූ දෙයක් ද? මේ සඳහා යම් යම් මැදිහත් වීම් සිදුවුනාද? සැකසංකා ඇති තැන් විමර්ශනය කළ යුතුයි. යම් ප‍්‍රශ්නයක් ඇති වී තිබෙනවා නම් මෙයට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව රටට හෙළිකළ යුතුයි. ඒ නිසා විමර්ශන වාර්තාවන් පිළිබඳව අපි අවධානයෙන් පසුවෙනව. වඩාත් ඉක්මන්, සාධාරණ විමර්ශනයන් කර එහි ප‍්‍රතිඵල ජනතාවට හෙළිකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී මේ රටේ ප‍්‍රජතන්ත‍්‍රවාදයට ඇති අභියෝග පිළිබඳව විමර්ශනයන් තුළින් හෙළිදරව් කරගත යුතුයි.
අපි රටේ වගකිවයුතු පුද්ගලයන් දෙදෙනා වන ජනාධිපතිතුමාගෙනුත්, ගරු අගමැතිතුමාගෙනුත් දිගින් දිගටම ඉල්ලා සිටියා ජනවාරි 8 වෙනිදා ඇති කරන ලද පරිවර්තනය තමන්ගේ දේශපාලන පක්‍ෂ න්‍යායපත‍්‍රයන් ඉදිරියට දාලා ජනතාව අතර ඇති කරගත් එක`ගතාවය පසෙකට නොදැමිය යුතු බව. අපිට යම් යම් කාරණා, යම් යම් ලක්‍ෂණ පෙනෙන්න තියෙනව. අපිට යම් යම් අවස්ථාවන්හීදී පෙනෙන්න තියෙනව තමන්ගේ දේශපාලන පක්‍ෂ න්‍යායපත‍්‍රයට වඩාත් ප‍්‍රමුඛ තාවය දෙමින් කටයුතු කරමින් සිටින බවක්. අපිට රජයෙන් අහන්න ප‍්‍රශ්න ගණනාවක් මේ මොහොතේ තියෙනව. පළවෙනි කාරණය තමයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙවන නායකයා බවට පත්කර ගැනීමේ සූදානමක් තියෙනවද? අපි එහෙම අහන්නේ මේ පාලණයට ගෝඨාභය ඇතුළත් කරගැනීමට විටින් විට ලැබුණ සංඥාවන් නිසයි. අපි දින කිහිපයකට කලින් දැක්කා අමාත්‍යවරයෙක් වන ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා  මේ පිළිබඳව ඍජුවම ප‍්‍රසිද්ධියෙ කියා සිටිය. එයින් පෙනෙන්නේ ජනාධිපතිවරයාව තමන්ගේ මාර්ගයට ගැනීමට ඔවුන් සූදානම් වෙන බවයි. ඔහු කියන පරිදි ‘අපේ ගමන් මගට ජනාධිපතිවරයා එකතු කර ගතයුතුයි’ යන කියමන ඔහු ඍජුවම කියනව. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පක්‍ෂයේ දෙවන නායකයා බවට පත් කරගනිමින් අපි මේ ආණ්ඩුව ගෙන යාමට මැදිහත් වියයුතුයි යන කාරණය ඔහු ප‍්‍රකාශ කරනව. මේක බරපතල ප‍්‍රශ්නයක්. මෙය හුදෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පිළිබඳ කාරණයක් නෙමෙයි. මෙය මේ රටේ ඇති වූ දේශපාලන පරිවර්තනය පිළිබඳ කාරණයක්.
ජනවාරි 8 දේශපාලන පරිවර්තනයේදී ජනතාව ප‍්‍රධාන චූදිතයන් බවට පත් කරපු, ජනතාව ප‍්‍රතික්‍ෂේප කරපු පුද්ගලයන් අතරින් එක් අයෙක් ගෝඨාභට රාජපක්‍ෂ. හිටපු ජනාධිපතිවරයාටත් වඩා ඉදිරියට යමින්, මේ රටේ හමුදා යාන්ත‍්‍රණය තමන්ගේ අතට ගනිමින් මර්ධනකාරී ආයතන අති කරමින්, අතුරුදහන් කිරීම්, ඝාතනයන්, පැහැරගැනීම්, අනුන්ගේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම් වැනි මේ සියල්ලන්ටම නායකත්වය ලබා දුන් පුද්ගලයා ඔහු බව ජනතාව දන්නවා. ලක්‍ෂ 62ක ජනතාවක් හිටපු පාළකයා, ඔවුන්ගෙ සහෝරදයන්, ජෝන් සෙනෙවිරත්න ආදීන් පරාජය කෙරුවෙ ඔවුන්ව නැවත පාළනයට ඇතුල් කරගනිමින් තනතුරු ලබාදෙන්න නෙමෙයි. වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එවන් උත්සාහයක් ගන්නවා නම් එය ජනතාවට වගකීමකින් හෙළි කළයුතුයි. ඒ පිළිබඳව ජනතාවට පිළිතුරු දිය යුතුයි.
ජනතාව බලාපොරොත්තු වෙන්නේ රාජපක්‍ෂ පාළනයයෙන් ජනතාවට සිදු වූ අයුක්තිය, අසාධාරණය, පැහැරගැනීම්, ඝාතනයන් සම්බන්ධයෙන් තියෙන විමර්ශනයන් කඩිනම් කරමින් ඔවුන්ට දඬුවම් දීමයි. ඩිලාන්ලා, ජෝන්ලා හිටියෙ මේ පරිවර්තනයට විරුද්ධව. ඔවුන් මහින්ද රාජපක්‍ෂ පාළනයේ කොටස් කාරයින්. ඔවුන් පරාජයෙන් පස්සේ කරගන්න දෙයක් නැතුව මේ පැත්තට ආපු අය. ඔවුන් හදන්නේ තමන්ගේ ගමන් මගට ජනාධිපතිතුමා යොමු කරගන්න. ඒක කරන්න තිබුණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් තිබුණ නම්. මේක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක්් නෙමෙයි. මේක ශ‍්‍රී එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවකුත් නෙමෙයි. මේක මේ රටේ ජනතාව ඉතාමත් කැපවීමකින්, ඉතාමත් බරපතල අරගලයකින් හදාගත්ත ආණ්ඩුවක්. මේක ජනතාවාදී ආණ්ඩුවක්. අපි ජනධිපතිතුමාගෙන් අහන්නෙ ඔබතුමා හදන්නෙ ඔබතුමාව අඩි අටක් පොළොව යටට යන්න නොදී බේරගත්ත ලක්‍ෂ 62ක ජනතාවගේ ජීවිතවල ඉරණම තීන්දු කරන්නද? ඔවුන්ගේ ජීවිත ගැන ඔබතුමා වගකිව යුතුයි.
අපි බලාපොරොත්තුවෙනවා රජය යහපාලන ප‍්‍රතීපත්තීන්, මූලධර්ම අනුව කටයුතු කරයි කියල. අපි ප‍්‍රශ්න කරනවා අර්ජූන් මහෙන්ද්‍රන්ගෙ තනතුර පිළිබඳව. ජූනි 16 වෙනිදා අර්ජූන් මහෙන්ද්‍රන්ගෙ තනතුර පිළිබඳ ප‍්‍රශ්නය මතු වෙනවා. මේ පිළිබඳව ආණ්ඩුවේ තීරණය කුමක්ද? රජය පෙන්නුම් කළයුතුයි තමන් යහපාලන ප‍්‍රතිපත්තීන් ගරුකරන බව. අතීතයේදී ඇති වූ වංචාවන් පිළිබඳව සෙවිය යුතුයි. අර්ජූන් මහෙන්ද්‍රන්ගෙ ක‍්‍රියාකලාපය පිළිබඳ බරපතල විවේචනයක් රට තුළ තියෙනව. අර්ජූන් මහෙන්ද්‍රන් පිළිබඳව කටයුතු කරන ආකාරය පිළිබඳව ජනතාව ඉතා  ඕනෑකමින් බලා සිටිනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *