ලිබරල්වාදයට සහාය වියයුතු වෙලාවක් මේක – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

පැහැදිළිව ම රටේ ආරම්භ වී ඇති ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයේ අභ්‍යන්තර ගැටුමක් වර්ධනය වෙන බව පෙනෙන්නට තියෙනවා. මේ ගැටුම වර්ධනය වන්නේ ව්‍යාවස්ථාව වෙනස් කිරීමට, මානව හිමිකම් තහවුරු කිරීමට සහ දූෂිතයින් ඇල්ලීමට දුන් පොරොන්දු හෙමින් නමුත් ක්‍රියාත්මක වෙමින් තියෙන වට පිටාවක. ඒ අනුව දුන් පොරොන්දු ආණ්ඩුව ඉටුකරනු ඇතැයි යන ජනාවගේ බලාපොරොත්තුව තවමත් ශක්තිමත් ලෙස තිබෙනවා.
ආර්ථික වශයෙන් මොනතරම් අමාරුකම් පැමිණ ප්‍රශ්න ඇති කළත්, ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදි ගමන පිළිබඳ තියෙන විශ්වාසය කිසිසේත් අඩු වී නැති බවයි මට පෙනෙන්නේ. ඒක අපිට පෙනෙනවා ගංවතුර ප්‍රශ්නයේ දී ත්, ආණ්ඩුවට විරුද්ධ රාජපක්ෂගේ ජාතිවාදි නඩය වාසියක් ලබාගන්නට උත්සහ දැරුවත් ඒක සාර්ථක වුනේ නෑ. ජනතාවගේ උනන්දුව හා ජනතාවගේ විශ්වාසය ගංවතුරට මුහුණ දුන් අවස්ථාවේ දී ත් පෙනුනා.
වෙන වෙලාවක නම් හදිසි නීතිය දාලා රාජ්‍ය බලය යොදවලා තමයි මේ වගේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ. එහෙම නැතිව මෙවර ජනතාවට මැදිහත්වෙලා මේ තත්ත්වය කළමණාකරනය කරගන්නට කියලා නායකයින් කිව්වාම රට පුරාම තිබුණ සිවිල් සංවිධාන ආදිය එකතු වෙලා වැඩ කළා. මෙහි දී ඇත්තටම හොරකම් හා වංචාවන් පවා ඉතාමත් සුළු ප්‍රමාණයක් තමයි වාර්තා උනේ. කවදාවත් නොතිබූ ආකාරයට මේකට ජනතාවම මුහුණ දුන්නා. දවස් දෙක තුනකට පස්සේ තමයි හමුදාවත් එක්ක නායකයෝ ගියේ. ඒකෙන් අපිට පෙනෙනවා ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තවම විශ්වාසනීය තත්ත්වයක් තියෙන බව. ජනතාව බලාපොරොත්තු සහගතව ඉන්නවා පමණක් නොව තමන්ට ඇති ප්‍රශ්න ගැන කථාකරමින් නමුත් ඒ අය අවදියෙන් සිටිනවා.
විශේෂයෙන්ම ජනතාවගේ ඔලුවේ වැඩකරන්නේ දූෂිතයන් අල්ලා වැරදිකාරයින්ට දඬුවම් දෙන්න ඕනේ කියන අදහස. ඒ කියන්නේ සල්ලි ප්‍රමාණය මත නොව දූෂිත පාලකයින් ඉන්නට බෑ කියන මතය උඩ තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. මහින්ද රාජපක්ෂ සමග සිටින අයටත් දැන් තේරෙනවා මේක ලේසියෙන් ගැලවෙන්න පුළුවන් එකක් නොවෙන බව. ඒ අය හිතුවා ජාතිය පාවා දෙනවා කියලා කෑ ගැහුවාම ඒක නවත්වයි කියලා. එහෙම නෑ.
ඒ නිසා ඒ ගොල්ලන් වෙනත් මාර්ග වලින් රාජ්‍ය බලය ඩැහැගන්නට උත්සහා දරණ බවයි මට පෙනෙන්නේ. ඒ අයට හමුදාවේ කිසියම් බලයක් තියෙනවා. පොදු ජනතාව අතරේ විශ්වසනීයත්වයක් ගොඩනගා ගන්නට බැරි වුනාට යුද්දෙට ගිය හා යුද්ධය හරහා වන භාවිත තුළින්ම මර්ධනය හා දරුනු කටයුතුවලට ඇබ්බැහි වූ හමුදා ඛණ්ඩයක් ඉන්නවා. ඒ අය මර්ධනයට සූදානම් කට්ටියක්. ඒ අයට මර්ධනය හැර වෙනත් දෙයක් පෙනන්නේ නෑ. ඒ අය හිතන්නේ මේ වෙලාවේ තියෙන එකම බෙහෙත රට අස්ථාවරකර තමන්ගේ බලය තහවුරු කරගැනීම කියලා. ඒ සංවිධානාත්මක උවමනාව තියෙන පිරිසක් හමුදු ක්ෂේත්‍රයේ ඉන්නවා. හමුදාවේ පමණක් නොව පරිපාලන හා අධිකරණ ක්ෂේත්‍රයේ ද එවැනි කොටසක් ඉන්නවා. රාජපක්ෂ ආණ්ඩුව වැටුණේ ඒ අයට පෙනි පෙනී. ඒ අයට හිතෙනවා අතේ තිබුණු දෙයක් තමන්ට නැතිවුනේ කියලා. ඒ නිසා ඒ අය යම්කිසි කුමන්ත්‍රණකාරි වැඩ පිළිවෙලක් සුදානම් කරනවා ද කියන ප්‍රශ්නය මතුවෙනවා, මක්නිසාද යත් අපිට පෙනෙනවා එක එක අවස්ථාවල දී කඩාකප්පල්කාරි ක්‍රියා මතුවන ආකාර ය. නැගෙනහිර මහ ඇමතිට ප්‍රශ්නයක් දාලා, මිනිහා අවුල් කර ඒ තුළින් බලය බෙදාහැරීම කියන එක ගැන අභියෝගයක් මතු කරන්නට පටන් අරන් තිබෙනවා. ඒ වගේම උතුරේ ඉඩම් ආපසු දීමේ ක්‍රියාදාමක් තිබෙනවා. ඒවායේ දී ත්, දිගටම ප්‍රශ්න ඇති කරමින් සිටිනවා. විපක්ෂ නායක සම්බන්ධන් හමුදා කඳවුරකට ඇතුල් වෙන්නට ගියා ය කියන කථාවත් ඒකට උදාහරණයක්. මේ ආකාරයට හමුදාවේ ඇතැම් කොටස් හරහා තම ශක්තිය තහවුරු කරගන්නට ජාතිවාදින් මහන්සි ගන්න බවක් පෙනෙන්නට තිබෙනවා.
මේ වෙලාවේ අර ආයුධ ගබඩාවේ ගින්නක් ඇතිවීම ද ප්‍රශ්නයට තුඩුදෙන කාරණාවක්. හැම දෙනාම කියනවා ඒ ආයුධ ගබඩාව හරියට පවත්වාගෙන ගිය බවක්. ඒකට කවුරුවත් පිටින් ගැහුවා කියලා කියන්නත් බෑ. මේක සාමාන්‍යයෙන් ස්වාභාවිකව සිද්ධවෙන්නටත් පුළුවන්කමක් නෑ. ආරක්ෂා සහිතව තිබුණු බවට ඒ අයම සහතික වෙනවිට අපිට හිතන්නට තියෙන්නේ යම්කිසි අයෙක් කරලා තියන වැඩක් හැටියටයි. හරියට පෙරඞ් එක කරලා යනවා. ඒ වෙලාවෙයි ගින්න හටගන්නේ. මැරිලා තිබෙන එක්කෙනත් මැරිලා තිබෙන්නේ දුරකථන සම්බන්ධයක නිරත වී සිට පැනගන්නට නොහැකිවූ නිසයි. සැළසුම්ගත වැඩක් ද කියන සැකය මේ කරුණු නිසා වැඩිවෙනවා.
මේ සිදුවීමට ආසන්න දිනයක ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් කියනවා ගෝඨාභය දෙවැනි තැනට ගෙනෙන්නට ඕනේ කියලා. ගෝඨාභය කියනවා දෙවැනි තැනට නොවෙයි පළවෙනි තැනට උනත් තමන් සුදුසු බව. එයා කියනවා මම ඔතන හිටිය නම් කෙලින්ම එතන සිටි හමුදා නිළධාරියා පමණක් නොව හමුදාපති අස්කරන බව. මේ තුළින් අපිට පෙනෙනවා කිසියම් සැළසුමක් ක්‍රියාත්මක වන බව.
මේකේ දි මට කණගාටුව තව එක් මිනිහයි මම කල්පනා කරන ආකාරයට කල්පනා කරන්නේ. එයා තමයි අර මර්වින් සිල්වා. මර්වින් සිල්වා පිස්සෙක් වගේ කෑ ගැහැව්වාට පිස්සු කථාවෙත් වැදගත් දෙයක් එයා කියන්නේ. රාජපක්ෂලාගේ අතපය මිරිකන්න හිටුපු මිනිහෙක් නේ මර්වින් සිල්වා කියන්නේ. ඒ නිසා එයාට තමයි වඩා හොඳින් තේරෙන්නේ මොනවාද වෙන්නේ කියලා. ඒ මිනිහාගේ දරුවත් මරාගෙන යන්න හදපු බව ඒ මිනිහා දන්නවා. තියන කණගාටු තත්ත්වය තමයි මේ තත්ත්වය වෙන අයට නොපෙනීම. ජනතාවගේ බලය අමු අමුවේ කඩාකප්පල් කිරීම සඳහා සන්නද්ධ බලවේග පාවිච්චි කරලා ඒ මගින් ප්‍රහාර එල්ල කරන්නටයි මේ අය බලන්නේ. ජනයා නැගිටින්නේ නෑ මේ ආණ්ඩුවට විරුද්ධව. ඒ නිසා මේ ආකාරයට කුමන්ත්‍රණකාරි ලෙස කඩාකප්පල් ක්‍රියා හරහා ඒ අයගේ ජාතිවාදි කොටස් සමග නැගිටින්නයි උත්සාහ ගන්නේ. එවැනි පරිසරයක් හදමින් ඉන්නේ. ඒ අයට දැන් තේරෙනවා ජාත්‍යාන්තර වශයෙන් මේ ආණ්ඩුවට ආධාරදීලා ශක්තිමත් කරන්නට උත්සහ දරන බව.
අද ලෝකයේ ගෝලිය ධනවාදය තුළත් පැසිස්ට්වාදය පිලිබඳ ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. ඒ අය හදාගෙන ගිය නව ලිබරල්වාදි ආර්ථික ක්‍රමයට අභියෝග කරමින් ඇමෙරිකාවේ ඉදලාම ෆැසිස්ට් අභියෝගයක් අද තිබෙනවා. රිපබ්ලික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වන ට්‍රම්ප් ගේ කථාවලින්ම ඒ ගැන පේනවා. ඒ අය කියන්නේ නීතියේ පාලනයක් අවශ්‍ය නෑ වෙඩි තියලා මට්ටම් කරලා ඉදිරියට යන්න ඕනේ කියලා. නව ලිබරල්වාදය ගැන තවත් කථා කරන්නට දෙයක් නෑ. නව ලිබරල්වාදය නොවෙයි යුරෝපයේ ඇමෙරිකාවේ ෆසිස්ට් බලවේග තමයි ඉස්සරහට එන්න හදන්නේ. මූල්‍ය අරමුදල ඇතුලේ උනත් බලන්නේ ඒවගේ එන ෆැසිස්ට් ප්‍රවනතා නවත්වලා සාමාන්‍ය ධනවාදය තුළින් ඉස්සරහාට යන්න. ඒ අය සමාජ ආර්ථික මිනුම් දඬුවලට අනුවයි කටයුතු කරන්නේ. ඒකට විරුද්ධව දැන් ෆැසිස්ට් තත්වයක් එන්නේ. ඒක ජයගත්තොත් මුල්‍ය අරමුදලේ ලොක්කන්ටත් කරන්නට දෙයක් නෑ. ඒ නිසා රාජපක්ෂලාගේ මේ වැඩ පිළිවෙල රටේ බරපතල තත්ත්වයක් උදාකරන්නට පුළුවන්. මේකෙ දී ලංකාවේ අපි පමණයි මේ ෆැසිස්ට්වාදීන්ට මුහුණ දීලා ජයගත්තේ. දැන් එහෙනම් අපි මේක ලෝකයට ම පෙනෙන්නට ඉදිරියට ගෙනයා යුතුයි. සිවිල් සමාජයේ බලය තුළ අපි ඉදිරියට යන බව පෙන්විය යුතුයි.
ට්‍රොට්ස්කි එදත් කිව්වා ෆැසිස්ට්වාදයට තනියම මුහුණ දෙන්නට ලිබරල්වාදයට ශක්තියක් නෑ කියලා. ඒ නිසා වාමාංශිකයින් හා ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියලු දෙනා ඒ ශක්තිය සැපයිය යුතුව තිබෙනවා. මේ තත්ත්වය ඉදිරියේ ලිබරල් නායකත්වය සමග පුළුවන් තරම් ඒකාබද්ධව වැඩකරන්නට සූදානම් වියයුතු යි. ඒකේ අඩුවක් තිබෙනවා නම් ඒක පිරිමහගෙන යන්නට අපි සූදානම් විය යුතුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *