අඳුරේ දුවන සමාජයක් –  අනුර කේ එදිරිසූරිය 

 

රෝගයකට ප්‍රතිකාර කිරීම වෙනුවට යාච්ඤා කරමින් සිටීම හේතුවෙන් දරුවකු මියයාම පිළිබඳ පුවතක් පසුගිය දා මාධ්‍ය මඟින් වාර්තා කරනු ලැබුණි. ඇතැම් මාධ්‍ය එම මරණය පෙන්වා දුන්නේ මිථ්‍යාව පසුපස යාමෙන් සිදුවුවක් වශයෙනි.

විද්‍යාව අතහැර මිථ්‍යාව පසුපස යාම වර්තමානයේ මෙරට සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වී තිබේ. එහි වගකීමෙන් වැඩි කොටස පැවරෙන්නේ ජනමාධ්‍ය වෙත ම බව කනගාටුවෙන් වුව සඳහන් කළ යුතුය. මෙරට රූපාහිනී නාළිකාවල උදය කාලයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කර ඇත්තේ නැකැත්කාරයන් සඳහා වීම උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය. රාහු කාල , ලග්න පලාපල ආදි ආචීර්ණ කාල්පික මත ජනතාවගේ ඔළුවලට පුරවමින් ඔවුහු උදෑසනින්ම ජනතාවගේ මනස කුරුවල් කරති. එවැනි වැඩසටහන් බොහොමයක්  සඳහා  කාලය වෙන් කර ගනු ලබන්නේ අදාළ නැකැත්කාරයන් ( ඔවුන් හැඳින්වීම සඳහා නැකැත් ඇදුරන් වැනි වචනයක් යොදා ගැනීම මෙහිදී නොකරන්නේ හිතා මතාමය. හේතුව, මෙවැනි තක්කඩින් හැඳින්වීම සඳහා ඇදුරා යන්න යෙදීම එම වචනය කිළිටි කිරීමක් වන නිසාය ) විසින් මුදල් ගෙවා වන නමුත් ඒ වැඩසටහන් ප්‍රචාරය කරනු ලබන්නේ මුදල් අයකර යන බව සඳහන් කරන්නට තරමට වත් ආචාරධාර්මික භාවයක් අදාළ මාධ්‍ය ආයතනවලට ⁣නැත. එම ඇතැම්  වැඩසටහන් විකාශය කෙරෙන්නේ මුදල් අයකර බවවත් සඳහන් කරන්නේ නම් නැකැත්කාරයන් කරන්නේ ව්‍යාපාරයක්  බව ⁣හෝ ජනතාව අවබෝධ කර ගන්නවා ඇත.

සමාජය මිථාවෙන් මුදා ගැනීමේ කාර්යයට අවශ්‍ය නම් දේශපාලනයට වැදගත් වැඩකොටසක් කළ හැකිය. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ආදිය මගින් විද්‍යාව , තාර්කික ඥානය සහ විද්‍යාත්මක චින්තනය ප්‍රචලිත කිරීමෙනි. ගැටලුව වන්නේ මෙරට දේශපාලකය⁣න්ට ඊට හැකියාවක් හෝ අවශ්‍යතාවක් නොතිබීමය.මෙරට දේශපාලනයේ නියුතු බහුතරය සාමාන්‍ය ජනතාවටත් වඩා මිථ්‍යාව හිසින් ගත් තැනැත්තන්ය. ඔවුන්ගේ අත්වල ඇති නූල් කැබලි , ඊට නිදසුන්ය. කොරෝනා වයිරසය පරාජය කරන්නට මුට්ටි ගඟට දැමීම , ධම්මික පැණිය ප්‍රචාරය කිරීම ආදියෙන් පැහැදිලි වූයේ මෙරට දේශපාලකයන්ගේ මොළයේ කුඩා බව නොවේද ? පසුගිය මැතිවරණ සමයේ නා ලොවින් ආ නාගයන් ආදියද ගත යුත්තේද මිථ්‍යාවේ ම කොටසක් තම ඡන්ද වාසිය සඳහා උපයෝගි කර ගත් අවස්ථාවක් වශයෙනි. ඊට ජනමාධ්‍යවලින් මෙන්ම පන්සල් වලින්ද ලැබුණේ විශාල තල්ලුවකි. විභාග ආසන්නයේ මාතර ප්‍රදේශයේ එක් දේශපාලකයෙක්ද වසරක් පාසා මෙවන් මිථ්‍යා කටයුත්තක් හරහා තම දේශපාලන ව්‍යාපාරය ප්‍රචාරය කරනු ලබයි. ජනමාධ්‍ය හරහා ඊට ලබා දෙන ප්‍රචාරයද සුළුපටු නැත.

තිරුපති ගමනකට අගමැතිවරයාට ගුවන් යානයක් ලබා දීම පසුගිය දිනවල මහත් ආන්දෝළනයකට ලක් විය.ගුවන් යානය ලැබුණු ආකාරය ඊට වැයවුණු මුදල  නොව ඊටත් වඩා සංවාදයට ලක්විය යුත්තේ තිරුපති යාමෙන් ගම්‍ය වන අගමැතිවරයාගේ දාර්ශනික බංකොලොත්භාවයය. එය අගමැතිවරයාට පමණක් නොව මෙරට පක්ෂ විපක්ෂ දේශපාලන ලොක්කන් සොක්කන් සියල්ලන්ටම අදාළය. දේවාල , නොපෙනෙන බලවේග වන්දනා කරමින් ඇවිදින මේ පිරිසට රට දියුණු කළ හැකිද යන්න ජනතාව තම තමන්ගෙන්ම විමසිය යුතුය.

ගුවන් යානය ලැබුණු ආකාරය ඊට වැයවුණු මුදල  නොව ඊටත් වඩා සංවාදයට ලක්විය යුත්තේ තිරුපති යාමෙන් ගම්‍ය වන අගමැතිවරයාගේ දාර්ශනික බංකොලොත්භාවයය. එය අගමැතිවරයාට පමණක් නොව මෙරට පක්ෂ විපක්ෂ දේශපාලන ලොක්කන් සොක්කන් සියල්ලන්ටම අදාළය. දේවාල , නොපෙනෙන බලවේග වන්දනා කරමින් ඇවිදින මේ පිරිසට රට දියුණු කළ හැකිද යන්න ජනතාව තම තමන්ගෙන්ම විමසිය යුතුය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත් කලද තත්ත්වය එයමය. පාසලක පැවැත්වුණු යාතු කර්ම ආකාරයේ කටයුත්තක් අවසානයේ සිසුවකු රෝගීව මියගිය පුවතක් කලකට ඉහත වාර්තා විය. එකී යාතුකර්මය අධ්‍යාපනයට කවර ආකාර⁣යකින් හෝ සම්බන්ධයක් නැති වුව එම විගඩම්කාරී කටයුත්ත සංවිධානය කළ තැනැත්තන්ට හෝ ඊට අනුබල දුන් තැනැත්තන්ට හෝ විරුද්ධව කිසිවක් සිදුවූ බවක් දැනගන්නට ලැබුණේ නැත.අනෙක් ගැටලුව වන්නේ දරුවන්ගේත් ගුරුවරුන්ගේත් විද්‍යාත්මක චින්තනය ප්‍රවර්ධනය කළ හැකි වැඩසටහන් සහ ව්‍යාපාර මෙරට පවතින නමුත් ඒවා විදුහල් තුළට ඇතුළත් කර ගැනීමට උනන්දුවක් අධ්‍යාපන බලධාරීන් හෝ පාසල් ප්‍රධානීන් නොදැක්වීමය.

රෝගයට ප්‍රතිකාර කරනු වෙනුවට යාච්ඤා කිරීම හේතුවෙන් මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවාගේ මවුපියන් සහ මිත්තණිය අත්අඩංගුවට ගත් බවද කියැවිණ. ඔවුන් අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවීමෙන් ප්‍රශ්නය නිරාකරණය වන්නේනම් සතුටු විය හැකිය. කනගාටුවට කරුණ එසේ නොවීමය. මෙයට කලකට පෙර එක්තරා රෝගියකුට තැඹිලි වතුර පෙවීමෙන් රෝගය උත්සන්නව මරණය⁣ට පත්වූ සිද්ධියක් මෙහිදී මතකයට නැඟේ. මෙකී සියල්ලෙන් පැහැදිලි වන්නේ එකම කරුණ විවිධ මුහුණුවරින් නැවත නැවතත් සිදුවෙමින් පවතින බව සහ එය තිරසාර නැවතුමකට සේන්දු කරවන්නට අදාළ පාර්ශ්වවලට වුවමණාවක් හෝ හැකියාවක් නොපවතින බවය. ජනතාව ඒ බව වටහා ගන්නා තෙක් මෙවැනි සිදුවීම් නැවත නැවතත් සිදුවීම වැළැක්විය නොහැකිය.

සියල්ලෙන් පැහැදිලි වන්නේ එකම කරුණ විවිධ මුහුණුවරින් නැවත නැවතත් සිදුවෙමින් පවතින බව සහ එය තිරසාර නැවතුමකට සේන්දු කරවන්නට අදාළ පාර්ශ්වවලට වුවමණාවක් හෝ හැකියාවක් නොපවතින බවය. ජනතාව ඒ බව වටහා ගන්නා තෙක් මෙවැනි සිදුවීම් නැවත නැවතත් සිදුවීම වැළැක්විය නොහැකිය.

   අනුර කේ එදිරිසූරිය 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *