අර්බුදය පිළිගෙන ජනතාවට තිත්ත ඇත්ත කිව යුතුයි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

අද මෙරටේ පවතින අර්බුදයට හේතුව කොවිඩ්  යයි තමා නොපිළිගන්නා බවත්, ණය උගුල නිසා ඇති වූ මෙම ප්‍රශ්නයෙන් ගොඩයාමට නම් පළමුවෙන් ම ප්‍රශ්නය පිළිගෙන ජනතාවට තිත්ත ඇත්ත කිවයුතු බවත් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

ප්‍රශ්නය ඇති වුයේ කොවිඩ් නිසා නම් කෙටිකාලීන ණය ගෙන ප්‍රශ්නයට මුහුණ දිය හැකි බවත්, එසේ වුව ද දැන් පවතින්නේ එබඳු ප්‍රශ්නයක් නොවන බව කී ඇමතිවරයා කොවිඩ් නිසා සිදුවුයේ ප්‍රශ්නය පැමිණීම ඉක්මන් වීම පමණක් බව ද පැවසීය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ පැවති ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ මෙම අර්බුදයට මුහුණ දීමට පියවර පහක් අනුගමනය කළ යුතු බවයි.

එම පියවර පහ වන්නේ , පළමුවෙන් ම ප්‍රශ්නයක් තිබෙන බව පිළිගැනීමත්, දෙවනුව එම අර්බුදය ණය නිසා ඇතිවූ අර්බුදයක් බව පිළිගැනීමත්, තෙවනුව ජනතාවට අර්බුදය ගැන බොරු නොකියා තිත්ත ඇත්ත කීමත්, සිව්වනුව එම අර්බුදයට විසඳුම් වැඩ සටහනක් සකස් කිරීමත්, පස් වෙනුව එම වැඩපිළිවෙළ රජය සම්පුර්ණ කැපවීමෙන් ක්‍රියාත්මක කිරීමත් ය.

රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දින වකවානු සහිත විය යුතු බවත්, එය ක්‍රියාත්මක කිරීමේ දී නායකයින් කැපකිරීම් කර ජනතාවට ආදර්ශයෙන් පෙන්නුම් කළ යුතු බව ද ඇමතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *