සිමෙන්ති හිගයෙන් පාලම 9800 ක් වැඩ නැවතිලා

දැනට වෙළෙඳපොළේ පවතින සිමෙන්ති හිගය සහ අධික මිල නිසා ග්‍රාමීය පාලම 9800 ක වැඩ නැවතී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා ප්‍රකාශ කරයි.

රජය ආරම්භ කළ පාලම 10,000 වැඩ සටහනේ පාලම් 200 ක වැඩ පසුගිය වසරේ අවසන් කළ අතර අනෙක් පාලම්වල වැඩ නැවතී ඇත්තේ අධික මිලට සිමෙන්ති ලබාගෙන එම ඉදිකිරීම් කළ නොහැකි නිසා ය.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1575 ක් ලෙස සටහන් වුව ද සැබවින් ම ලබාගත හැකි මිල රුපියල් 2000 ක් පමණ වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

සිමෙන්ති ආනයනයට ප්‍රමාණවත් විදේශ විනිමය නිකුත් නොකිරීම නිසා වෙළෙඳපොළේ සිමෙන්ති හිගයක් පවතින අතර ලැබෙන සිමෙන්ති අධික මිලට විකිණීමට වෙළෙන්දෝ කටයුතු කරති.

සිමෙන්ති ආනයනකරුවන් කියන්නේ මහ බැංකුවේ මිලට ඩොලර් ලබාගත නොහැකි බව සහ කළු කඩ මිලට ඩොලර් මිල දී ගැනීමට තමන්ට සිදු වී ඇති බවයි. එලෙස ගෙන්වන සිමෙන්ති පාලන මිලට ලබාදිය නොහැකි බව ඔවුහු කියති.

මෙම තත්ත්වය නිසා සිමෙන්ති ආනයනය කළ සමාගම් 35 ක් පමණ එම ආනයන කටයුතු නවතා දමා ඇති බව ද වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *