චීනයෙන් නිකම් සහල් ලැබෙන කතා බොරු ; මියන්මාරයෙන් ටොන් ලක්ෂයක් මිලට ගනී

ශ්‍රී ලංකාවට සහල් ටොන් දශ ලක්ෂයක් නොමිලේ පරිත්‍යාග කිරීමට චීන රජය එකඟ වී ඇතැයි රජය ගෙන ගිය ප්‍රචාරය බොරු බව මේ වන විට තහවුරු වී ඇති අතර සහල් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් මිල දී ගැනීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.

ශ්‍රී ලංකාව චීනයෙන් සහල් ඉල්ලා තිබුණ ද චීන රජය ඒ පිළිබඳව තීරණයක් ගෙන නැත. සහල් පරිත්‍යාග කිරීමට එරට එකඟ වූ බවට රජය කළ ප්‍රචාරය චීන නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින්නේ මියන්මාරයෙන් සහල් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ය.

රසායනික පොහොර තහනම නිසා මහ කන්නයේ අස්වැන්න විශාල ලෙස අඩු වී ඇති තත්ත්වයක් තුළ මෙලෙස සහල් ආනයනය නොකළ හොත් රටේ සාගත තත්ත්වයක් ඇතිවීම වැළක්විය නොහැකි බව වෙළෙඳ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා මියන්මාරයෙන් සුදු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත .

මෙම සහල් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 445 බැගින් ,රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

වරකට සහල් මෙට්‍රික් ටොන් 20,000 බැගින් ආනයනය කර වරින් වර වෙළඳපොළට නිකුත් කිරීමට වෙළද අමාත්‍යාංශය අපේක්ෂා කරයි .

එම සහල් තොග ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහජන බැංකුව වෙත නිකුත් කරන්නැයි වෙළෙඳ අමාත්‍යාංශය මහ බැංකුවෙන් ඉල්ලීමක් කර ඇත .

එමෙන් ම වරායේ සිර වී ඇති සහල් කන්ටේනර් 500 ක් මුදා ගැනීමට ද වෙළෙඳ අමාත්‍යාංශය  මුදල් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *