විදුලිය කැපීම පැහැදිලි කඩාකප්පල්කාරී ක්‍රියාවක්, නීතිමය පියවර ගන්නවා – මහජන උපයෝගිතා කොමිසම

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් පෙරේදා අනවසරයෙන් කළ විදුලි කප්පාදුව පැහැදිලිව ම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත්, එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මහජන උපයෝගිත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරයි.

එදින විදුලි ඉල්ලුම සහ නිෂ්පාදන හැකියාව සන්සන්ධනය කොට බැලු විට විදුලිය කැපීමේ කිසිදු වුවමනාවක් නොතිබූ බවත්, එලෙස විදුලිය කැපීම විදුලි බල පනත සහ මහජන උපයෝගිත කොමිසන් සභා පනත යටතේ වරදක් වන බවත්, ඒ මහතා පෙන්වා දෙයි.

එම නීති අනුව මහජන උපයෝගිත කොමිසමේ අවසරයකින් තොරව විදුලිය කැපීම වරදක් වෙයි.

මෙම ක්‍රියාවට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග වහා ම ගන්නා බවත්, සඳුදා වනවිට කළ යුතු දේ තීරණය කරන බවත්, ජනක රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත.

දිනපතා පැය දෙකක විදුලි කැපීමකට විදුලි ඉංජිනේරු සංගමය ඉල්ලීම් කොට තිබුනේ පසුගිය ජනවාරි 8 දා සිට ය. එයට මහජන උපයෝගිත කොමිසම අවසර දුන්නේ නැත.

මෙම තත්ත්වය තුළ අනවසරයෙන් විදුලිය කපමින් මහජන උපයෝගිතා කොමිසමේ බලයට අභියෝග කිරීමේ ක්‍රියාවලියක විදුලි ඉංජිනේරු සංගමය නියලී සිටින බවට චෝදනා නැගී ඇත.

විදුලි ඉංජිනේරු සංගමය මෙලෙස හිතුවක්කාර ලෙස හැසිරීමට හේතු වී ඇත්තේ ඇතැම් බලවතුන්ගෙන් ඔවුන්ට අනුබල ලැබීම නිසා බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *