විචාර ශීලීව තීරණ ගන්නැයි ජනාධිපති ජනතාවගෙන් ඉල්ලයි ;දත්ත මත පමණක් තීරණ ගන්නලු !

විචාරශීලීව තීරණ ගන්න ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ජනතාව තීරණ ගත යුත්තේ දත්ත මත පදනම්ව පමණක් බව ද පැවසීය.

දුෂ්කර කාල සැම දා පවතින්නේ නැති බව ද ඒ මහතා කීය.

හැත්තෑ හත්වන නිදහස් දින සමරු උත්සවය අමතමින් පරිවර්තන නොමැතිව සිංහලෙන් පමණක් කතා කරමින් ජනාධිපති තුමා මේ අදහස් පළ කළේ ය.

ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි දුරටත්  පැවසීය.

රටක් නිසි දිශානතිය කරා මෙහෙයවීමේදී රටේ සියලු දෙනාගේම සහය බලාපොරොත්තු විය නොහැකි බවත්, වෙනස් නොවන අය දෙස බලා අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැලසුම් කර ඇති දේ අථැර දමන්නට සූදානම් නැතැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ අරමුණ රට වෙනුවෙන් නිවැරදි දේ කිරීම මිස සියලුදෙනා සතුටු කිරීම නොවන බවද ජනාධිපතිවරයා කීවේය.

අසුබවාදීන් ලෝකය වෙනස් කරන්නේ නැතැයි කී ජනාධිපතිවරයා ප්‍රශ්නයකට විසඳුමක් ඉදිරිපත් නොකොට විවේචන කරන්නට පුරුදු වී ඇති අයට අනාගතය ගැන දැක්මක් නැතැයිද ප්‍රකාශ කළේය.

දුෂ්කර කාල හැමදාමත් එකසේ පවතින්නේ නැතැයි ද කී රාජපක්ෂ මහතා එවැනි කාලවලට මුහුණදීමට ශක්තිමත් මිනිසුන් අවශ්‍ය බවත්, අන් අයව මානසිකව වට්ටන පුද්ගලයන් සමාජයට කරන්නේ උපකාරයක් නොවන බවද කිවේය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *