ඇමැති බැසිල්ගේ කතාවෙන් ආණ්ඩුව අර්බුදයක ; විදෙස් මිතුරන්ගෙන් ප්‍රශ්න

යුද්ධය පැවති කාලයේ ආණ්ඩුව කොළඹ කළු කඩවලින් ඩොලර් ලබාගෙන උතුරු කොරියාවෙන් ආයුධ ලබාගත් බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට බලවත් ප්‍රශ්න මතුවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.

කොළඹ විදේශ තානාපති සේවා මේ පිළිබඳව විදේශ අමාත්‍යංශයෙන් විමසා ඇති අතර එම ප්‍රකාශය බොරුවක් බවට නිවේදනයක් විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් නිකුත් කරන ලදී.

කෙසේ වෙතත්, විදේශ ප්‍රවෘත්ති සේවා මෙම පුවත වාර්තා කිරීමත් සමග මෙය ජාත්‍යන්තර අවධානයට යොමු වූ ප්‍රශ්නයක් වී තිබේ.

එකසත් ජාතීන්ගේ මණ්ඩලය විසින් උතුරු කොරියාවට සම්භාදක පනවා ඇත්තේ, මානව හිමිකම් ප්‍රශ්න මෙන් ම ජාත්‍යන්තර සම්මුති නොතකා මිසයිල් අත්හදා බැලීම් ආදියේ යෙදීම නිසා ය.

එම සියලු සම්මුති කඩ කරමින් ශ්‍රී ලංකාව හොර රහසේ උතුරු කොරියාවෙන් අවි ආයුධ මිල දී ගත් බව බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරව් කිරීමත් සමග බටහිර රටවල් කැළඹීමට පත්ව සිටින බව කියති. එම රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට සිදු වී තිබේ.

මුදල් ගනුදෙනු කරන උන්ඩියල් , හවාලා වැනි ක්‍රම වරදක් නැතැයි ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ප්‍රකාශ කිරීමද ප්‍රශ්න සහගත වී තිබේ. මෙය මුදල් විශුද්ධිකරණයට අනුබල දීමක් බව බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ අදහස වී තිබේ.

මීට පෙර කොළඹ වරාය නගර නීතියට ඇමෙරිකාව කනස්සල්ල ප්‍රකාශ කළේ එමගින් මුදල් විශුද්ධිකරණයට ඉඩ ලැබෙන බව කියමිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *