උද්ධමනය තවත් ඉහළට ! මහ බැංකුව නිවේදනය කරයි

ශ්‍රී ලංකාවේ උද්ධමනය තවත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව දෙසැම්බරයේ සියයට 12.1 ක් වූ උද්ධමනය ජනවාරියේ සියයට 14.2ක් වී ඇත.
මහ බැංකු නිවේදනයේ මෙසේ දැක්වෙයි.

2022 ජනවාරි මස උද්ධමනය – කො.පා.මි.ද.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 12.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගියේය. මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 6.0හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 6.9 දක්වා ඉහළ ගියේය.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 22.1හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 25.0 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.5හි සිට 2022 ජනවාරි මාසයේ දී සියයට 9.2දක්වා ඉහළ ගියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *