ඇම්ඩා ඔබ අමතයි – නිශාන්ත කමලදාස

 

මගේ දුප්පත් රට වැසියන්ට බඩ කට පුරා කන්නට නොලැබෙන බව මම දනිමි. ඔවුන්ට රස බොජුන් වළඳන්නට අවසරයක් නොමැති බව ද මම දනිමි. ඒ සියල්ලන් වෙනුවෙන් ඔවුන් උදෙසා බඩ කට පුරා කන්නටත් රස බොජුන් වළඳන්නටත් මම තීරණය කළෙමි. මා කරන ඒ අනුභවය දෙස බලා වත් ඔවුන්ට සැනසිය හැකි නම් ඒ මට ලැබිය හැකි උපරිම සතුට සේ මම සලකමි.

Branded ඇඳුම් පැලඳුම් වලට කවුරුත් කැමති ය. එවැන්නක් ඇඳ පැලඳ ගත් විට ඇති වන උජාරුව මම නිතර අත්විඳින්‌නෙමි. ඔවුන් වෙනුවෙන් දිගටම branded දේ පරිහරණය කරමින් ඔවුන්ට මා දිහා බලමින් එයින් කුඩා කොටසක තෘප්තියක් හෝ ලබා ගැනීමේ අවස්ථා ලබා දීමට මම කැමැත්තෙමි.

පරිවාර රථ පිරිවරා, මග දෙපස මිනිසුන් සීසී කඩ විසිකර දමමින්, ගමන් යෑමට අවස්ථාවක් ලැබේ නම් කිසි කෙනෙකු එය ප්‍රතික්ෂේප කරන එකක් නැත. එහෙත් හැමට ම එසේ කළ නොහැකි ය. ඔවුන් වෙනුවෙන් ඒ වගකීම බාර ගැනීමට මම නොපැකිලෙමි.

ඔවුන්ට නවීන මෝටර් රථයක රේස් පදින්නට හැකියාවක් නැති බව මම දනිමි. එහෙත් කිසියම් දිනක ඒ සඳහා අවස්ථාව ලැබෙතොත් එවැනි අත්දැකීමක් භුක්ති විඳීමට ඔවුන්ට කැමැත්ත ඇති බව ද මම දනිමි. ඒ නිසා ම ඒ අවස්ථාව ඉදිරියේ දිනක හෝ මතු ආත්මයක ඔවුන් ලබන තුරු ඔවුන් වෙනුවෙන් දිගට ම රේස් පදින්නට මම තීරණය කළෙමි.

තමන් සතු මෝටර් සයිකලයකට වුව මගේ සහෝදර ජනතාව මේ දිනවල ඉන්ධන සපයා ගන්නේ අමාරුවෙන් බව මම දනිමි. එහෙත් මතු යම් දිනයක පෞද්ගලික ජෙට් යානයකින් ගමනක් යෑමට අවස්ථාව ලැබෙතොත් ඔවුන්ට එය අතිවිශාල සතුටක් ගෙනෙනවා ඇතැයි මම සිතමි. ඔවුන් වෙනුවෙන් පෞද්ගලික ජෙට් යානයකින් ගමනක් ගොසින් ඔවුන් තුටු පහටු කරන්නට මම මැලි නොවෙමි.

සෑම දෙයක් ම හිඟ බවත් ඒවායේ මිල අතිශයින් ඉහළ ගොස් ඇති බවත් ඒ නිසා ම මිනිසුන් ජීවත් වෙන්නේ අමාරුවෙන් බවත් වෙන කාටත් වඩා හොඳින් මම දනිමි. ඒ මා ජීවත්වන්නේ ජනතාව සමග නිසා ය. එහෙත් සක්කරයාට තියා වයිමාටවත් ඒ ගැන කිසිවක් කළ නොහැකි ය. කුමක් වුවත් අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නම් යන්නේ නැති බව අපට (තව කෙටි කාලයකට වත්) සපථ කළ හැකි ය. ඒ ඔබට හා රටට ඇති අපේ ආදරය නිසා බව නැවත නැවතත් කියන්නට ඔ්නෑ නැතැයි සිතමි.

බොහෝ දෙනෙකු රට ගොඩ ගත හැකි අයුරු හා ජනතාව ගොඩ ගත හැකි අයුරු කතා කරනවා මම දැක ඇත්තෙමි. පුළුවන් කමක් තිබේ නම් ඔය කොයි කාටත් කලින් ඒ කටයුත්ත කරන්නේ අප ය. වඩාත් නිශ්චිතව කිවහොත් මම ය. රට හෝ ජනතාව ගොඩ ගත නොහැකි නිසා මේ අවස්ථාවේ අපට කළ හැකි හොඳ ම දේ කිරීම වෙනුවෙන් අපි කැප වන්නෙමු. ඒ ජනතාව හා රට වෙනුවෙන් අප වත්, ඒ නැත්නම් මම වත්, අඩු ම තරමින් ගොඩ යෑමට කටයුතු කිරීම ය. ඒ බව දැක බලා ගෙන ජනතාවට සතුටු විය හැකි ය.

ජනතාවගේ සතුට අපේ සතුට ය. මගේ සතුට ය.

අද සවු-බාගය දකින ඔබට හෙටවත් සුභ අනාගතයක් ලැබේවායි හදවතේ ගැඹුරුම තැනින් පතමි.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *