ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව පුපුරා යෑම සිතා මතා කළ කුමන්ත්‍රණයක් විය හැකියි‘ – විදේශීය විශේෂඥයෙක් පවසයි

යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය.

ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන බවයි.

ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස හඳුන්වන්නේ කුඩා පරිමාණ උණ්ඩ ගබඩාවේ සිට මහා පරිමාණ උණ්ඩ ගබඩාව දක්වා පැතිරුණු පිපිරීමකි. මහා පරිමාණ උණ්ඩ ගබඩා පවතින්නේ පොලොවෙන් යටය.  මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ අවි ගබඩාවන්හි අවසාන ආරක්ෂාව සඳහා සවිකර ඇති ක්‍රියාන්විතයක් පුපුරුවා හැරීම නිසා යැයි අපගේ විදේශීය විශේෂඥයාගේ මතයයි.

ලෝකයේ ඕනෑම අවි ගබඩාවක ආරක්ෂාවේ කෙළවර අවසානයේ එය පුපුරුවා හරින ක්‍රම වේදයක්ද අඩංගු වේ.

එවැනි ක්‍රම වේදයක් ස්ථාපනය කරන්නේ සටනකදී අවි ගබඩාව සතුරා අතට පත්වන්නට යන්නේ නම් පළා යෑමට පෙර අවි ගබඩාව සතුරා අතට පත්වන්නට ඉඩ නොදී සියල්ල පුපුරුවා හැරීමේ ක්‍රමයක් සහිතව ය.

මෙම ක්‍රමවේදය කොස්ගම උණ්ඩ ගබඩාව කෙරෙහිද ස්ථාපනය කර තිබිණ. එවැනි ක්‍රම වේද ස්ථාපනය කරන්නේ “ආරක්ෂා කර ගැනීමට  බැරිනම් විනාශ කිරීම වඩා වාසිය“ යන යුද සිද්ධාන්ත අනුව ය.

කොස්ගම අවි ගබඩාව මේ ආකාරයෙන් ගිනිගෙන විනාශ වී ඇත්තේ පෙර කී ලෙස අවි ගබඩාවක් සතුරා අතට පත් වීමට පෙර විනාශ කරන ක්‍රමාණුකූල ක්‍රම වේදය ක්‍රියාත්මක කිරීමෙන් බවට සැක පහල වන්නේ යැයි ලංකා ඊ නිව්ස් සමග අදහස් දැක්වූ පෙර කී විශේෂඥයා පැවසීය.

ඊට හේතු කාරණා රාශියකි. ඇසින් දුටුවන් පවසන්නේ විශාල ශබ්දයක් සමග සුළු අවි ගබඩා දෙසින් පිපිරිමක් ඇතිවූ බවත් පසුව එය බර අවි උණ්ඩ ගබඩා දක්වා පැතිරී ගිය බවත්ය.

මෙවැන්නක් නිකම්ම ඇති විය නොහැකිය. එනම් පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරය ක්‍රියාත්මක විය යුතුමය. ලංකාවේ කොළඹ ඊයේ උපරිම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 30.6 ක්ව තිබියදී උෂ්ණත්වය සාධකයක් වී පුපුරුවා හැරීමට අවශ්‍ය චාජරයක් ක්‍රියාත්මක විය නොහැක.

එසේ නොවී නම් මෙවැනි පුපුරුවා හැරීමක් සඳහා අත්‍යාවශ්‍ය චාජරය කිසිවෙකු විසින් ක්‍රියාත්මක කළ යුතුමය.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ පූර්ණ ආරක්ෂාව සහිතව ස්ථාපනය කරන ලද සාලාව උණ්ඩ ගබඩාව ඊයේ සවස පුපුරා යෑම පරිපූර්ණ කුමන්ත්‍රණයක් විය හැකි බව වි‍ශේෂඥයාගේ මතයයි

 

Lankaenews වාර්තාවකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *