ඇමති ඩිලාන් පෙරේරා ජනවාරි 8 ජයග්‍රහණයේ සතුරෙක්-ජේ්‍යෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

ඩිලාන් පෙරේරා ඇමතිතුමා වරින් වර කරනු ලබන ප්‍රකාශ තුළින් ඔහු මෙම රජයේ වගකිව යුතු ඇමති වරයෙකු ද යන ප්‍රශ්නය මතු කරයි. ඔහු මෑතක දී විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවත්වගෙන යා යුතු යැයි කරන ලද ප්‍රකාශය ඉතා භයානක ප්‍රකාශයකි. ඔහු එම අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස ලෙස ගෙන හැර දැක්වීම තුළින් දේශපාලන අර්බුදයක් ද නිර්මාණය කරමින් සිටියි.
ඩිලාන් පෙරේරාට මෙම ආණ්ඩුව ගැන හෝ ජනාධිපති ගැන හෝ ජනවාරි 08 වන දිනෙන් පසු බිහි වූ ආණ්ඩුව ගැන හෝ කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැත. මුළු රටේම ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම හා යහපාලනය ගරු කරන්නා වූ ජනතාව ජාති, ආගම්, කුල පමණක් නොව පක්ෂ භේදයකින් ද තොරව උතුරේ සිට දකුණ දක්වා සියළු ජන කොටස් මහින්ද රාජපක්ෂ පාලනය ඉවත් කිරීම සඳහා පසු ගිය ජනාධිපතිවරණයේ දී සටන් කරමින් සිටියදී මහින්ද රාජපක්ෂ නැවත පත්කිරීම සඳහා අසත්‍ය හා හාස්‍යජනක ප්‍රකාශ කරමින් ජනතාව නොමග යැවීම සදහා ක්‍රියා කළ ඉදිරියෙන්ම සිටි කෙනෙකි. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව බොරු බේගල් නිර්මාණය කරමින් ජනාධිපතිතුමා අපහාසයට ලක්කරමින් ක්‍රියා කළ පිරිස අතර ඉදිරියෙන්ම සිටියා වූ කෙනෙකි. එහෙයින් ඔහු ජනවාරි 08 වන දින සටනට අයිතිවාසිකම් කිව නොහැකි, එම සටනේ දී ජනතාව පාවා දුන් කෙනෙකි. ඔහුගේ අවස්ථාවාදී දේශපාලනය අනුව ජනාධිපතිවරණයෙන් පසුව සම්පූර්ණ කරනමක් ගසා ජනාධිපතිතුමාගේ පිහිට ලබමින් නිර්ලජ්ජී ලෙස තම ආසනය පරාජය වී සිටිය දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගා ගන්නා ලද පුද්ගලයෙකි. ඔහු කිසිදු දේශපාලන සදාචාරයක් නොමැති දේශපාලඥයන් ජනතාව විසින් ප්‍රතික්ෂේපකර සිටියි. අප රටේ දේශපාලනය කුණු වීම සදහා මෙවැනි අවස්ථාවාදීන් දේශපාලන සදාචාරය ගරු නොකරන පිරිස් අපගේ රටේ දේශපාලන තීන්දු තීරණ ගන්නා පුද්ගලයින් බවට පත් වීම බව කිවමනා නොවේ. එවැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට සිදු වීමම අවාසනාවන්ත සිද්ධියකි. එහෙත් ඔහු යම් වැදගත් තනතුරු දරමින් ජනතාව නොමග යැවීම තවදුරටත් නිරත වී සිටින හෙයින් ජනතාව වෙත මේ ආකාරයට සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇත.
ජනවාරි 08 වන දින අප රටේ ජනතාව කිසිදු භේදයකින් තොරව දකුණේ සිට උතුර දක්වා එක හඩින් රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම හා ජාතික සංසිඳියාව ඇති කිරීම සදහා පෙළ ගැසුණු බව ඔහුට නොතේරීම පුදුමයට කරුණත් නොවේ. ඔහු එම ඓතිහාසික සටනේදී සතුරු බලවේගය නියෝජනය කළ ප්‍රධාන චරිතයකි.
ජනතාව රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීමේ ප්‍රථම හා ප්‍රධාන පියවර වශයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නැවත විධායක බලය පාර්ලිමේන්තුවට වග කියන්නා වූ කැබිනට් මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිත කළ යුතුය යන හඩ වටා ඒකරාශී විය. එය හුදෙක් හදිසි ජනාධිපති මැතිවරණය සදහා ඉදිරිපත් කරන ලද සටන් පාඨයක් නොව මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ දී හා විශේෂයෙන් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ 2010 වසරේ සිට ගෙන ගියා වූ ඒකාධිපති පාලනය තුළ රටේ නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් කඩ කිරීම තුළින් මතු වුනා වූ සටන් පාඨයක් විය.
ජනතාව පූජ්‍ය මාදුවාවේ සෝභිත හිමියන් වටා ඒකරාශී කළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර එම පොදු අපේක්ෂකයාගේ ජයග්‍රණයන් තුළින් මෙම අරමුණු ඉදිරියේ රට තුළ ප් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහාය.
මෙම ව්‍යාපාරය මැතිවරණයට වසර 4-5 කට පුථම ආරම්භ කළ ව්‍යපාරයකි. මෙම ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය සදහා ගෙන ගියා වූ ජාතික සටනට එරෙහිව පෙරමුණ ගෙන ක්‍රියා කළ බලවේගයේ ඩිලාන් පෙරේරා කැපී පෙනෙන චරිතයක් විය. එහෙයින් ඔහුට මෙම සටනේ ගැඹුරු අර්ථය නොවැටහීම තේරුම්ගත හැක.
රාජ්‍ය සේවකයන් ගස් බදිනු ලැබූ, ගුරුවරුන් දණ ගැස් වූ මාධ්‍යවේදීන් මරා දමනු ලැබූ, මාධ්‍යවේදීන් අතුරුදහන් කළ මාධ්‍ය ආයතනවලට පහර දී විනාශ කරනු ලැබූ, පොලිස් අත්අඩංගුවේ පසු වූ 200 කට ආසන්න සැකකරුවන් පිරිසක් අමු අමුවේ මරා දැමූ, සුළු ජාතීන්ගේ ව්‍යාපාරවලට පොලිස් නිළධාරීන් බලා සිටියදී පහරදුන්, දේශපාලන විරුද්ධවාදීන් අතුරුදහන් කළ, ප්‍රදේශීය සභා සභාපතිවරුන් සහ නියෝජිතයින් නීතිය තම අතට ගෙන ඉඩම් කොල්ල කෑම ස්ත්‍රීර දූෂණවල යෙදි සිටිය දී බලාහුන්, ස්ත්‍රී දූෂණ සමරමින් ගෙන ගිය ම්ලේඡ පාලන ක්‍රමයේ නියමුවෙක් වන ඔහුට ජනවාරි 8 වන දින ජයග්‍රණයේ අර්ථය නොතේරේ. නැවත එවැනි දෙයක් බිහිවීම වැළැක්වීම සඳහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ අදහසින් අළුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කරනු ලබන මෙම අවධියේ දී මෙවැනි ප්‍රකාශ කරමින් නැවත එවැනි කාලකණ්නි යුගයක් පිහිටුවීමට ක්‍රියා කිරීම පුදුමයක් නොවේ.
එහෙයින් ජනවාරි 8 වන දින ජයග්‍රණයේ ප්‍රධාන තේමාව වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ඇති කිරීමේ වගකීමෙන් ඉවත් විය නොහැක. එසේ කිරීමෙන් සිදුවනුයේ එම ව්‍යාපාරයේ ජීවය විනාශ වීමක් පමණක් නොව එයට නායකත්වය දුන් හැමගේ අවංකභාවය හා කැපවීම ප්‍රශ්නයට ලක්වනු ඇත. එමගින් එම ව්‍යාරපාරය කඩා වැටෙනු නියතය. එසේ වුවහොත් අද ජනතාව සමග සිටින අයට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිද්ධවෙනු ඇත. ඩිලාන් පෙරේරා වැනි අය අද ආණ්ඩුවට පහරදීමට ආයුධ නොමැතිව ලත වෙන එක්සත් විපක්ෂය යැයි කියාගනු ලබන කණ්ඩායමට ආයුධ සැපයීම සදහා ගෙන යනු ලබන ව්‍යාපාරක් බවට සැකයක් නොමැත. යම් හෙයකින් මෙම ප්‍රධාන සටන් පාඨය අනුව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් එහි ප්‍රධාන විරෝධයට ලක්වනුයේ ජනාධිපතිතුමාය. එහෙයින් මෙම ව්‍යපාරය ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් විනාශ කිරීම සදහා ගෙන යනු ලබන ව්‍යාපාරයක් විය හැක. ඩිලාන් පෙරේරා වැනි අය ජනවාරි 8 සටන පරාජය කිරීමට සැලසුම්ගතව කටයුතු කරනු ලබන කිසිදු සැකයක් නොමැත. එහෙත් පුදුමය වන්නේ ඔහු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ සිට දේශපාලන වශයෙන් ජනාධිපතිතුමාගේ ආණ්ඩුව විනාශ කිරීම සදහා කටයුතු කිරීමය. මෙම ව්‍යාපාරය ජනාධිපතිතුමා ආරක්ෂා කරනු ලබන බවට වූ මුලාවෙන් ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් විනාශ කරනු ලබන ව්‍යාපාරයකි.
ජනවාරි 8 වන දින විප්ලවය සමග මතු වූ ප්‍රතිවිප්ලවයේ පුරෝගාමියෙකු වූ ඩිලාන් පෙරේරා හා එම ප්‍රතිවිප්ලවයේ ඉදිරියෙන් සිටි පුද්ගලයින්ගේ මෙම ව්‍යාපාරය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය.
එපමණක් ද නොව රටේ ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන 149 ක් මැදිහත් වී ගෙන ගිය ජනවාරි 8 හා අගෝස්තු 17 ජයග්‍රණයන් පරාජය කිරීම සදහා ඉදිරිපත් වී සිටින මෙම ප්‍රතිවිප්ලවීය කණ්ඩායම පරාජය කිරීම සිවිල් සංවිධාන ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වේ.
මෙම ආණ්ඩුවේ නොයෙකුත් දුර්වලකම් ඇත. එහෙත් අද දකුණේ සිට උතුරදක්වා ජනතාව නිදහස්ව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් බොහෝ දුරට භුක්ති විදින බව සත්‍යකි. එය වසන් කළ නොහැක. ඉඩි අමීන් යටතේ උගන්ඩාව වැටී තිබුණු තත්ත්වයට ජාත්‍යාන්තරව වැටී සිටි ශ්‍රී ලංකාව අද ජාත්‍යාන්තර වශයෙන් ශිෂ්ඨ සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් පිළිගන්නා බව ද සත්‍යකි. නැවත ශ්‍රී ලංකාව උගන්ඩාවක් කිරීමට මොන ප්‍රශ්න තිබුණ ද ජනතාව සූදානම් නොමැති බව ඩිලාන් පෙරේරා වැනි ප්‍රතිවිප්ලවවාදීන් තේරුම් ගත යුතුව ඇත.
මෙම ප්‍රතිවිප්ලවය පරාජය කිරීම සඳහා සිවිල් සමාජය පෙළ ගැස්වීම සිවිල් සමාජය නියෝජනය කරන්නා වූ සංවිධාන වල ප්‍රධාන කර්ත්‍ය වී ඇත. ඒ අනුව පෙළ ගැසෙන ලෙස අප සිවිල් සමාජ සංවිධාන වලින් ඉල්ලා සිටිමුග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *