විදුලි බල මණ්ඩල සභාපති කලකිරී යන්න හදයි ; ආණ්ඩුව ඉඩ දෙන්න බෑ කියයි

තම ඉල්ලා අස්වීම භාර දී සිටින ලංකා විදුලි බල මණ්ඩල සභාපති එම් එම් සී ෆර්දිනාන්දු මහතා සේවයෙන් ඉවත්ව විදෙස් ගතවීමට තීරණය කොට ඇතත්, ඔහු සේවයේ රඳවා ගැනීමට ආණ්ඩුව උත්සහයක නියලී සිටින බව වාර්තා වෙයි.

ෆර්දිනන්දු  මහතාගේ ඉල්ලා අස්වීම භාරගෙන නැති බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා අද ප්‍රකාශ කළේ ය.

ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බැලීමට තමන් පත් කළ සාමාන්‍යධිකාරී වරයා ඉවත් කොට වෙනත් තැනැත්තකු පත් කිරීමට ඉහළින් ආ නියෝගයකින් බලවත් සේ සිත් තැවුලට පත්ව සිටින බව කියන ෆර්දිනාන්දු මහතා පෙබරවාරි 1 දා සිට සේවයෙන් ඉවත්වීමට සිය ඉල්ලා අස්වීම භාර දී ඇත.

තමන්ගේ තීරණ වෙනස් කිරීමට ඉහළින් මැදිහත්වීම නිසා විදුලි බල මණ්ඩලය තුළ කඩාකප්පල්කාරී පිරිස් බලවත් වූ බවත්, ආයතනය පාලනය කළ නොහැකි තත්ත්වයට පත් වූ බවත්, සභාපතිවරයාගේ මතය වී ඇතැයි කියති.

ඒ මහතාට විදුලිබල අමාත්‍යංශයේ ලේකම් තනතුර ලබාදීමට යෝජනා වී ඇතත් ඒ මහතා මෙතෙක් එයට කැමැත්ත දී නැත.

තනතුරින් ඉවත්ව ඒ මහතා ඔස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ෆර්දිනාන්දු මහතා වත්මන් රජය බලයට පත් වූ පසු යළි මෙරටට පැමිණ ඇත්තේ රජයේ කටයුතුවලට උපකාර කිරීම සඳහා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *