විදුලිය කපන්න ම ඕනෑ – ලංවිම ඉංජිනේරු සංගමය දැඩි මතයක

ඉන්ධන ලබාගැනීමට ඩොලර් ලබා නොදෙන තත්ත්වයක් තුළ, ලංකා විදුලි බල මණ්ඩලය සතු තාප විදුලි බලාගාරවලින් විදුලි නිෂ්පාදනය ඇනහිටින තත්ත්වයක් පවතින හෙයින් දිනකට පැයක් හෝ  පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ජල විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමේ හැකියාව ද මේ වන විට සීමා වී ඇති බව ඔවුහු කියති.

එසේ විදුලි කැපීමක් දැන් සිදු නොකළ හොත් ඉදිරියේ දී දිනකට පැය හතර පහ ඉක්මවූ විදුලි කප්පාදුවකට යාම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔවුහු  අනතුරු හඟවති.

ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති නිසා හදිසි මිලදී ගැනීමට යටතේ පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩි මිල ගණන් වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි නිසා හොඳම විසඳුම දිනකට පැය දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවුහු කියා සිටිති.

මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනයේ තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් පසුව අද පස්වරුවේ ඒ ගැන තීන්දුවක් ගන්නා බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *