|

ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකිරීම අද අර්බුදයට හේතුව යි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

හැම ක්ෂේත්‍රයකින් ම ලෝකය ඉදිරියට යද්දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොකරමින් අප එකතැන සිටීම අද අර්බුදයට හේතුව බවත්, මෙම ප්‍රශ්නයට සම්ප්‍රදායික දේශපාලනයෙන් පිළිතුරු නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වසර විස්සක් තිහක් නොකඩවා ක්‍රියාත්මක කරන එක් ප්‍රතිපත්තියක් අද අවශ්‍ය බවත්, තනි පුද්ගලයින්ට මෙම ප්‍රශ්න විසඳීමේ හැකියාවක් නැති බවත් ඒ මහතා කියයි.

දිනපතා ලංකාදීප පුවත්පතේ “කාලීන සටහන” වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කොට ඇත.

“1986-88 දී මම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ කළා. ඒත් ඉන්පසුව කිසිවක් සිදුවෙලා නැහැ. පසු කාලයේදී විද්‍යාත්මක, තාක්ෂණික දියුණුවක් අප නොසිතූ ආකාරයට සිදුව තිබෙනවා. එදා ජංගම දුරකථන තිබුණේ නැහැ. ඒ සියල්ල වෙනස් වන සමාජයට වුවමනා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළේ නැහැ. පැරැණි ක්‍රමයටම යනවා. සෞඛ්‍ය ක්‍රමයත් එහෙමමයි. ලෝකය වෙනස් වුණාට අපි වෙනස් වුණේ නැහැ. මේවා සියල්ල ප්‍රශ්න. අන්තිමට බැලුවාම දේශපාලනය. ඒක හොඳට මතක තියා ගන්න ඕන. අද තිබෙන්නේ පුද්ගලයන් වටා තිබෙන දේශපාලනයක්. ප්‍රතිපත්තිවත්, දර්ශනයක්වත්, වැඩසටහනක් ගැනවත් කතා කරන්නේ නැහැ. එක පුද්ගලකුට දී මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද කියා බලනවා.”

“රටක ප්‍රශ්න විසඳන්න අවුරුදු තිහ හතළිහක් යනවා. පළමු අදියරේ සාර්ථක වුවොත් දෙවැනි අදියරෙත් සාර්ථක වෙනවා. ඒක සාර්ථක වෙන්නෙ නැති නම් තුන්වැනි එකට යනවා. දැන් සියලු ප්‍රශ්න එකට ගොඩගැසී තිබෙනවා. බොහොමයක් තරුණ අයට මේ ක්‍රමවේදය, දේශපාලනය එපා වෙන්නේ ඒ නිසයි.”

“මෙතන තිබෙන්නේ දේශපාලන ක්‍රමයේ ප්‍රශ්නයක්. 2001 දී රටේ ආර්ථිකය ඍණ අගයක් ගත්තා. ඒත් අපි එය ආපසු හැරවූවා. ඒත් ආණ්ඩු මාරු වුණාම ඒ ක්‍රමවේදය ඉදිරියට ගෙන ගියේ නැහැ. ඒ ක්‍රමවේදය ඉදිරියට ගෙනාවා නම් අද ප්‍රශ්නයක් නැහැ. 2015 ආරම්භ කළ වැඩකටයුතු ඉදිරියට ගෙනාවා නම්, කොරෝනා නිසා යම් ප්‍රශ්න මේ ආණ්ඩුවට ඇතිවුවත් මේ තරම් උග්‍ර තත්ත්වයකට පත්වෙන්නේ නැහැ. එහෙම නම් නිවැරැදි ක්‍රමවේද ඉදිරියට ගෙන නොයාමේ අඩුපාඩුවක් අපේ දේශපාලන ක්‍රමයේ තිබෙනවා. සෑම වතාවකම මේ දුර්වලතාව තිබුණා. 1994 න් පසුවත් යුද්ධයට දේශපාලන විසඳුමක් යොමුවුණා මිස ආර්ථිකය ගැන බැලුවේ නැහැ. 1977 පටන්ගත් විවෘත ආර්ථිකය ක්‍රියා විරහිත වෙන තැනකට දැන් පැමිණ සිටිනවා. වෙළෙඳපොළට නිදහසේ ක්‍රියාත්මක වෙන්න බැරිනම්, එයට අවශ්‍ය විදේශ විනිමය නැතිනම් එතැනින් කඩා වැටෙනවා.”

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *