යහපාලනය මේක ද? පුරවැසි සංවිධාන වත්මන් පාලනයෙන් අසයි

මහින්ද රාජපක්ෂ ගේ පාලනය මෙන් වත්මන් පාලනය ද නීතියේ පාලනයෙන් මිදී නැවතත් රට අගාධයට ඇදගෙන යෑමට කටයුතු කරන බවට චෝදනාකරමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රභල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරසිබලය එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි යුක්තියට දැනගන්නට තිබේ.
මීට ප්‍රධාන වශයෙන් මුල් වී ඇත්තේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා නීතියේ පාලනයක් ස්ථාපිත කරනවා වෙනුවට රාජපක්ෂ සමයේ දූෂණයට හවුල් වූ රාජ්‍ය නිලධාරින්ට නීතිය ක්‍රියාත්මකවීම වැළැක්වීමට කටයුතු කිරීම ය. දේශිය සංචාරක ප්‍රවර්ධනය සඳහා යැයි කියමින් රාජපක්ෂ පාලන කාලයේ දී සංචාරක අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින රජයේ නිලධාරීන් තමාගේ විදේශ සංචාරය නිමවා එනතුරු අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය පුරවැසි සංවිධානවල මේ තීරණයට ආසන්න හේතුව වී තිබේ. නීති විරෝධි ලෙස කැළෙන් ආල්ලාගත් අලි පැටවුන් සම්බන්ධයෙන් කෙරෙන පරික්ෂණ වලට ද ජනාධිපතිවරයා මැදිහත්වන බවට ද ඔවුහූ චෝදනා කරති. එපමණක් නොව මේ මුල්‍ය වංචාවට සම්බන්ධ හේමා ධර්මවර්ධන නැමැත්තිය දැනට අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුයුක්ත කර ඇති බවක් ද අසන්නට ලැබෙන බව ඔවූ හු පවසති.
අලුත්ම ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත්තේ රාජපක්ෂ පාලනය සමග දූෂණවලට හවුල් වූ රාජ්‍ය නිලධාරින් අත්අඩංගුවට නොගැනීමේ තීරණයක් ආණ්ඩුව ගෙන ඇති බව ය. අනුෂ පැල්පිට වජිර ආබේවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත කරගැනීම පිළිබඳව සිද්ධියේ දී අබේවර්ධන අමාත්‍යවරයා ආරක්ෂා කිරීමේ පිළිවෙතක් රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කිරීම ද පුරවැසි සංවිධානවල අප්‍රසාදය පලවේ. ඇවන්ට් ගාඞ් සිද්ධියට සම්බන්ධව එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ද වජිර අබේවර්ධනගේ අමාත්‍යාශය හරහා විදේශගතවූ බව පෙන්වා දෙන පුරවැසි සංවිධන පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වජිර අබේවර්ධන සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිසේත්ම අනුමත කළ නොහැක බව ය. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ලිහිල් ප්‍රතිපත්තිය කිසිසේතම පිළිගත නොහැකි බවයි සිවිල් සංවිධාන නියෝජිතයින් පවසන්නේ.
නීතිය ක්‍රියාත්මකවීම වැළක්වීමට නායක දෙපල තරගයට මේ ආකාරයට මැදිහත්වීම තුළ අදාළ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නිළධාරින් ද පසුබට වී සිටින බව සිවිල් ක්‍රියාකාරිහූ පවසති. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන් ආකාරයට වත්මන් පාලන ද එය තම ප්‍රතිපත්තිය බවට පත්කර ගනිමින් සිටින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි සංවිධානය ප්‍රකාශ කරයි. තව ද ආණ්ඩුවේ මේ එරෙහිව මේ මස 15වෙනි දින ජනතාව දැණුවත් කිරීමේ ප්‍රථම සම්මන්ත්‍රණය කොළඹින් ආරම්භ කරන බව ද ඔවුහු යුක්තියට ප්‍රකාශ කළ හ. මේ ක්‍රියාමාර්ගය දුෂීත රාජපක්ෂ බලවේගයට වාසියක් නොවන්නේ ද යනුවෙන් යුක්තිය නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔවුන් පවසන්නේ දූෂිතයින් නීතියේ රෑහැනට හසුකරගැනීමට හරස්වීම තුළ රාජපක්ෂලා දැනටමත් වාසි අත්කරගෙන සිටින හෙයින් එහි වගකීම රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරීසේන යන දෙදෙනා භාරගතයුතු බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *