විනිසුරු තිලිණට ඇපදීමට එරෙහිව නීතිපති මහාධිකරණයට

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් ලියාපදිංචි සහතිකයක්‌ උපයෝගි කර ගනිමින් අලියකු තමා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව එල්ලවූ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇප මත මුදාහැරීමට ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා ඊයේ (02) දුන් නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.

තිලිණ ගමගේ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින් මෙන්ම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුම පොලිස්පතිවරයාට බලපෑම් කර තිබිණ.

එහෙත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ඒ වෙනුවෙන් කිසිදු බලපෑමක් සිදු කර නැතැයි වාර්තාවේ.

තිලිණ ගමගේ මහතා අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කරන ඕනෑම පුද්ගලයෙකු පිළිබඳව ඔහුගේ නඩු වාර්තාවේ සටහනක් දමන ලෙස විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතා රහස් පොලිසියට උපදෙස් දී තිබිණ.

ජාත්‍යන්තර මතය තහවුරු වෙලා

මේ අතර, අද (3) කොළඹ රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී ‘දූෂණ විරෝධී පෙරමුණ’ පැවසුයේ, මෙරට අධිකරණ ක්‍රියාවලිය විශ්වාස කළ නොහැකි බව ජාත්‍යන්තර වශයෙන් පැවති මතය නැවත තහවුරු වන තත්වයක් මතුව ඇති බවයි.

එහි උපදේශක කීර්ති තේනනකෝන් මහතා සඳහන් මේ බව සඳහන් කළේ අලි ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් ඇප මත නිදහස් වීම සහ මව් ඇතින්න මරා රැගෙන ආ අලි පැටවුන් නීති විරෝධි අයිතිකරුවන්ට යළි භාරදීම පිළිබඳව අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කළේ මෙම අලි අර්බුදය පොලිස් පරික්ෂනවලට, නීතිපති දෙපාර්තමේන්තුවට සහ වනජීවි නිලධාරින්ට විසඳා ගැනීමට නොහැකි නම් ඒ සඳහා බල කෙරෙන දැවැන්ත විරෝධතාවක් අරඹන බවයි.

නීති විරෝධී අගවිනිසුරු ඉවත් කිරීමේ සටන මහපාරේ අවසන් කළ ආකාරයටම නීති විරෝධි ලෙස සිදුවන අධිකරණමය කටයුතු වලට එරෙහිව ජනතාව පෙලගැසිය යුතු බවත් ඒ මහතා පැවසීය.

ජාත්‍යන්තරව ලංකාවේ අධිකරණ යාන්ත්‍රණය කිසිවෙකුත් විශ්වාස නොකරන තත්වයට පසුගිය සමයේ පත්වූ බවත් තිළිණ ගමගේ හරහා එම ක්‍රියාවලියට නැවත වරක් පිලිගැනීමක් හිමිවී ඇතැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

3.45 න් පසු ඇප ලබාදිය නොහැකියි :

මෙම මාධ්‍ය හමුවට එක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේ ගංගොඩවිල අධිකරණයෙන් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදී ඇත්තේ පස්වරු 6.45 ට බවයි.

තමන් දන්නා පිළිවෙත අනුව සාමාන්‍ය නඩු කටයුත්තකදී පස්වරු 3.45 න් පසු ඇප ලබාදිය නොහැකි බවත්, අධිකරණයේ රෙජිස්ටාර්වරයා සහ අනිකුත් නිලධාරීන් පසුවර් 3.45 න් පසු ඇප භාර නොගන්නා බවත් එවැනි තත්වයක් තිබියදී පස්වරු 6.45 ට ඇප ලබාදීමේදී ඇප මුදල් ගෙවනු ලැබුවේ කාටදැයි ප්‍රශ්නයක් මතුවන බවත් ඒ මහතා අවධාරණය කලේය.

මෙම ඇප තැබීම මුදල් භාරගැනීමකින් තොරව සිදුකලේද, නැතිනම් ඇප කොන්දේසි අත්සන් කලේ කෙසේද යන්න පිළිබඳව අධිකරන අමාත්‍යවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති තුමා සහ අගවිනිසුරු තුමන් මේ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා මෙහිදී අවධාරණය කළේය.

මෙම තත්වය අධිකරණයේ බලය ගණිකාවෘත්තියේ යෙදවීමක් ලෙස තමන් දකින බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සදහා දූෂණ විරෝධි පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නීතිඥ ලක්ෂාන් ඩයස්, නීතිඥ නාමල් රාජපක්ෂ සහ ජෛව සංරක්ෂන මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න එක්ව සිටියහ. l

 

SRI LANKA MIRROR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *