ජනාධිපති නියෝගයෙන් සහල් කිලෝව රුපියල් 170 ට නගී !

මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 95 බැගින් මිල දී ගැනීමට කෘෂිකර්ම ඇමතිවරයාට තමන් නියෝග කළ බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළ අතර ඒ අනුව සහල් කිලෝවක මිල රුපියල් 170 ක් දක්වා ඉහළ යන බව සහල් වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ දෙවන කොටස විවෘත කරමින් ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කළේ වී කිලෝවක් රුපියල් 95 කට ගන්නා ලෙස තමන් නියෝග කළ බව සහ එම මුදල යන්නේ ගොවියාට බවයි.

කෙසේ වෙතත්, සහල් වෙළෙඳුන් කියන්නේ එම මිලට වී මිල දී ගත විට සහල් කිලෝවකට පාරිභෝගිකයාට ගෙවන්න සිදු වන මුදල රුපියල් 170 ක් වන බව යි.

සහල් නිෂ්පාදකයින් කියන ආකාරයට සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වී කිලෝ 1.6 ක් අවශ්‍ය වෙයි. වී කිලෝව රුපියල් 95 ක් නම් සහල් කිලෝවකට යන වී සඳහා වියදම රුපියල් 152 කි. නිෂ්පාදන, ප්‍රවාහන, වියදම් සහ සේවක වැටුප් ගණන් බැලු විට සහල් කිලෝවක් විකිණිය හැකි මිල වන්නේ රුපියල් 170 ක් බව නිෂ්පාදකයෝ කියති.

කෙසේ වෙතත්, මහ කන්නයේ අස්වනු විනාශය රජය ද මෙලෙස තේරුම් ගෙන ඇති බව කියන සහල් වෙළෙඳුන්ගේ අදහස නම් වී කිලෝවක මිල  රුපියල් 120 ඉක්මවා යා හැකි බව යි. සහල් කිලෝව රුපියල් 200 ඉක්මවා යාහැකි බව කියති.

මේ අතර මීට දින 10 කට පෙර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සහන පැකේජයෙන් වී කිලෝවකට මිල නියම කොට තිබුණේ රුපියල් 75 ක් වශයෙනි.

ජනාධිපතිතුමා රුපියල් 95 ක් ගෙවීමට නියම කරන්නේ ඉන් දින 10 කට පසුව ය.

මේ අතර ගොවි ආරංචි මාර්ග කියන්නේ කාබනික පොහොර යොදා වගා කළ ගොවීන්ට  කුමන මිලකට හෝ විකිණීමට අස්වැන්නක් නොලැබෙන බව සහ ලැබෙන අස්වැන්න පවුලේ පරිභෝජනයට ද ප්‍රමාණවත් නොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, කෙසේ හෝ සොයාගෙන වැඩි මිල ගෙවා රසායනික පොහොර යෙදු ගොවීන්ට මෙහි වාසිය අත්වන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *