අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1700ක් වරායේ

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස 2කට අධික කාලයක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිර වී තිබේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවය.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී විෂය භාර අමාත්‍යවරුන් ඇතුළු රජයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වුව ද මෙතෙක් ඩොලර් නිකුත් කිරීම පිළිබඳ සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව එම සංගමය පෙන්වා දෙයි.

කොළඹ වරායේ සිර වී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ මේ වන විට රට තුළ භාණ්ඩ හිඟයක් ද නිර්මාණය වී ඇති අතර එම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් දැකිය හැකි බව සඳහන් වේ.

කෙසේවෙතත් උද්ගතව ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 18 වනදා වෙළෙඳ අමාත්‍යවරයා සමග හමුවක් පැවැත්වෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිමෙන්ති නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම සමාගම් පවසයි.

මේ හේතුවෙන් ඉල්ලුමට සරිලන ආකාරයේ සැපයුමක් ලබාදීමේ නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පෙන්වා දෙයි.

දේශිය සිමෙන්ති සමාගමක් මසකට සිමෙන්ති මෙට්‍රික්ටොන්  230,000 ක් මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන අතර තවත් මෙට්‍රික්ටොන් 20,000 ක් ආනයනය කරන බව සඳහන් වේ.

කෙසේවෙතත් පවතින ඩොලර් අර්බුදය හමුවේ සිමෙන්ති මෙන්ම සිමෙන්ති නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම පිළිබඳව ද ගැටලු මතුව ඇති බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කළේය.

මේ අතර රට පවතින අර්බුදකාරි තත්ත්වයෙන් මිදීම සඳහා ඵලදායී මුල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එමගින් සම්පත් ඵලදායී ලෙස බෙදාහැරිමට සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට හැකියාව ලැබෙන බව එම සංගමය පවසයි.

රටේ පවතින අර්බුදය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව ප්‍රකාශ කර තිබේ.

එහි තවදුරටත් දැක්වෙන්නේ ස්වාධීන හා අපක්ෂපාති දේශිය සහ විදේශිය විශේෂඥවරුන්ගෙන් අර්බුදයට තිරසාර විසදුම් ලබාදීමට අවශ්‍ය මූල්‍ය සම්පත් සහ විශේෂඥ තාක්ෂණික දැනුම ලබාගත යුතු බවය.

ඒ සඳහා පිළිගත් අතීත වාර්තා තිබෙන බහු පාර්ශවීය ආයතන වෙතින් සහය ලබාගත යුතු බවට ද ශ්‍රි ලංකා  නීතිඥ සංගමය සිය ප්‍රකාශය මගින් ආණ්ඩුවට යෝජනා කර සිටී.

අද දෙරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *