කෘෂිකර්ම ඇමතිගෙන් තවත් ‘ලක්ෂ තුනක’ පචයක් !

කාබනික ගොවිතැන අසාර්ථක බවට රට පුරා ම ප්‍රයෝගික අත්දැකීම් මත පුවත් පලවෙමින් පවතිද්දී එම පුවත් හෑල්ලු කිරීම සඳහා පුවතක් කෘෂිකර්ම ඇමතිගේ උපදෙස් මත නිර්මාණය කොට ඇතැම් මාධ්‍ය වෙත ලබා දී ඇති අතර එයින් කියවෙන්නේ කාබනික ගොවිතැන අසාර්ථක බව කියන ගොවීන්ට ලක්ෂ තුන බැගින් ගෙවීමට කිසියම් පාර්ශවයක් ගොවීන්ට පොරොන්දු වී ඇති බවයි.

ගොවි නියෝජිතයින් කෘෂිකර්ම ඇමතිවරයාට ලබා දුන් තොරතුරක් ලෙස එම පුවත ලබා දී ඇති නමුත් තොරතුර දුන් ගොවි නියෝජිතයින් ගැන ප්‍රමාණවත් තොරතුරු හෝ ගෙවීම කරන්නට ඉදිරිපත් වී ඇති පාර්ශවය ගැන හෝ කිසිදු තොරතුරක් මෙම පුවතේ අඩංගු නොවේ.

මෙය කාබනික කෘෂිකර්මයේ ඇත්ත තත්ත්වය හෙළි වීමට එරෙහිව ගෙතූ අතේ රෝලක් බවත්, මෙබඳු පුවත් පලකිරීමේ වැඩ සටහනක් කෘෂිකර්ම අමාත්යංශය විසින් ක්‍රියාත්මක කොට ඇති බවත් අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.

ඇතැම් වෙබ් අඩවිවල මෙබඳු පුවත් මුදල් ගෙවා පලකළ අතර එම පුවත් පළ කිරීමේ දී ” අනුග්‍රාහක ලිපියක්” ලෙස මුල දී කළ පල කිරීම ද අමාත්‍යංශයේ විරෝධය නිසා මේ වනවිට ඉවත් කොට ඇති බව ද අපේ ආරංචි මාර්ග කියයි.

මහ කන්නයේ වී ගොවිතැනේ අස්වැන්න නෙලීම මේ වන විට ඇතැම් ප්‍රදේශවල ආරම්භ වී ඇති අතර එම ප්‍රදේශවලින් වාර්තා වන්නේ කෙසේ හෝ රසායනික පොහොර ලබාගෙන වගාකළ ගොවීන්ට හොඳ අස්වනු ලැබී ඇති අතර කාබනික පොහොර යෙදු ගොවීන්ගේ අස්වැන්න හරි අඩකින් පමණ අඩු වී ඇති බවයි.

මේ අතර තේ වගාව සඳහා දකුණු පළාතට දුන් පොහොර ද පසුගිය දිනවල ලොරි මගින් රජරට සහ නැගෙනහිර පළාත්වලට රැගෙන ගොස් ඇති බවත්, එබැවින් තේ වගාවට පොහොර ප්‍රමාණවත් ලෙස නොලැබුණු බවටත් තේ වගා කරුවෝ මැසිවිලි නගති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *