අර්බුදයට වග කිව යුතු මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍යයි – ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමේ දී කළ යුතු ප්‍රතිසංස්කරණ අතර ඉතා වැදගත් ප්‍රතිසංස්කරණයක් වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම බවත්, වත්මන් ආර්ථික අර්බුදයට මහ බැංකුව ප්‍රධාන වගකිවයුත්තකු බවත්, ආර්ථික විශ්ලේෂක අඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

‘ජනවාරි අමතර අය වැය යෝජනා නිසා 2022 අයවැය අර්ථශුන්‍ය ද? ‘ මැයෙන් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය සංවිධානය කොට තිබු ” කතිකාව” වෙබිනාර් සම්මන්ත්‍රණයකට   සහභාගී වෙමින් ධනනාත් ප්‍රනාන්දු මහතා මෙසේ ද පැවසීය.

“පසුගිය වසර දෙක තුළ මහ බැංකුව රුපියල් ට්‍රිලියන තුනක පමණ මුදල් නෝට්ටු මුද්‍රණය කළා. එයින් රුපියලේ අගය පහළ වැටුණා. ඩොලරයේ අගය ඉහළ යනවිට මහ බැංකුව එය බලෙන් පාලනය කිරීමට උත්සහ කරනවා. ඩොලරයේ අගය අඩුවෙන් පවත්වාගැනීම නිසා ආනයන සඳහා නියම වටිනාකම ගෙවන්න වෙන්නේ නැහැ. එයින් ආනයන පාලනයක් සිදු නොවීමෙන් වැඩිපුර ඩොලර් වියදම් වනවා. අපනයන කරුවන්ට ඩොලරයට අඩුවෙන් ගෙවන නිසා අපනයනයෙන් එන ආදායමත් අඩු වෙනවා. මේ ආකාරයෙන් මෙම අර්බුදය උත්සන්න කරන්නේ මහ බැංකුවයි “

“ මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ‘ නව මුල්‍ය න්‍යාය’ නම් අප රටට නොගැළපෙන න්‍යායක් අනුව කටයුතු කළා. එය අර්බුදයට හේතු වුණා .”

“එම නිසා මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බවත්, මුදල් පනත ද සංශෝධනය කළ යුතු බවත්, මගේ අදහසයි “

අර්බුදයට මුහුණ දීම සඳහා කළ යුතු වෙනත් ප්‍රතිසංස්කරණ වශයෙන් දිළිඳු ජනයාට ඉලක්ක ගත සහනාධාර ලබාදීමේ විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් සංවිධානය කිරීම, රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය හෝ ප්‍රත්ව්යුහගත කිරීම, තරඟකාරී වෙළෙඳාමට සහ ආයෝජනයට බාධාකාරී නීති ප්‍රතිසංස්කරණය ආදී පියවර ගැනීම අත්‍යවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සම්මන්ත්‍රණය මෙහෙයවන ලද අතර දේශපාලන විශ්ලේෂක අජිත් පැරකුම් ජයසිංහ , කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා කථිකාචාර්ය උමේෂ් මොරමුදලි මහත්වරුන් ද අදහස් දැක්වුහ.

https://www.facebook.com/nationalmovementforsocialjustice/videos/699712881170964

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *