‘‘ජාතික ආණ්ඩුවකට මිස ආණ්ඩුව බේරන්න මුක්කු ගහන්න එජාප නායකත්වය සූදානනම් නෑ‘‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන


 

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊට නායකත්වය දීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නමුත් රටේ මතුව තිබෙන ප්‍රශ්න වලින් වත්මන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා මුක්කු ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දෙන්න යන බවට ආරංචියක් ඇතැයි ද එසේ වුවහොත් නායකතුමා අගමැතිකම බාර ගනීවිදැයි එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජයවර්ධන මහතා මෙි බව කීය.

මෙහිදී රුවන් විජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේ වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව බාර දෙන්නට යන බවට ආරංචි පැතිරීමෙන්ම තහවුරු වන්නේ රට හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවයි.

රටට අවශ්‍ය ඩොලර් ගෙනැවිත් ආර්ථිකය හදන්නට එක්සත් ජාතික පක්ෂ නායකයාට හැකියාව ඇති නමුත් වත්මන් ආණ්ඩුවට ගොස් බාල්දු වෙන්නට වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නැතැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *