මෙයිත්‍රී ගොඩයයිද ? – ලංකාදීප ගුරුදා විග්‍රහය – 2015.07.16 – සී ජේ අමරතුංග

යහපත් බොහෝ දේ කළත් එක වැරැුද්දකින් සියලූ දේ විනාශ කර ගැනීමට ගමේ ගොඬේ කියන්නේ කිරි කළයක් දොවා ගොම බින්දුවක් එක් කළා වාගේ කියාය. කිරි දෙවීම ඉතා පිරිසුදුව කළ යුතු කාර්යයකි. එයට අපද්‍රව්‍ය කිසිවක් එක් වුවහොත් ආහාරයට ගත නොහැකිය. කිරි කළයක් දෙවීම යනු විශාල කාර්යයකි. එයට ගොම බින්දුවක් එක්කළ විට කිරි කළයම අපතේ යයි. ඒ සඳහා වැය කළ ශ‍්‍රමයද අපතේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැන මේ මොහොත දක්වා රටේ පැවැති මතය ද මෙයට සමාන බව පෙනෙන්නට තිබිණි. මීට සති කිහිපයකට පෙර ජනාධිපතිවරයා ජනතාවගේ ගෞරවනීය නායකයාව සිටියේය. ¥ෂණය, භීෂණය රජ කළ යුගයක් ඉවත් කිරීමට මහජනතාව නායකත්වය දුන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. එම සටන ජය ගැනීමත් සමඟ මහජනයා තුළ එතෙක් තිබූ බිය සැක දුරුවී නිදහසේ ජීවත්වීමට අවකාශය ලැබිණි. එම නිදහස සමාජයේ හැම අංශයකම දකින්නට ලැබුණි.
පසුගිය මාස කිහිපය තුළ තවත් බොහෝ දේ සිදුවිය. රාජ්‍ය තන්ත‍්‍රය හෝ පොලිසිය දේශපාලනයෙන් තොර විය. අධිකරණ නිදහස තහවුරු වීය. ඒ සියල්ලටමත් වඩා ඉදිරියට තැබූ පියවර වන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා කිරීමට දහනව වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කොට ක‍්‍රියාවට නැඟීමයි.
විධායක ජනාධිපතිගේ බලය අඩු කිරීමට තමන්ගේ සියලූ ශක්තිය යොදා කැපවූයේ එම බලය දැරූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාමය. එතුමාගේ දැඩි කැපවීම නොවන්නට එය අතර මග අතහැර දමන්නට සිදුවන්නට ඉඩ තිබිණි. විපක්ෂය හැදුවේ එය බකල් කරන්නට බව පෙනෙන්නට තිබිණ. පසුගියදා දේශපාලනඥයකු කීවේ දහනව වන සංශෝධනයට විපක්ෂයෙන් සංශෝධන හැත්තෑ හතරක් ඉදිරිපත් කළ බවයි. ඒ සියලූ දේ සමඟ ගනුදෙනු කරමින් ජනාධිපතිගේ විධායක බලය අහෝසි කිරීමේ වැඩි ගෞරවය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමිවිය යුතු බවට සැකයක් නැත.
එපමණක් නොවේ නව මැතිවරණ ක‍්‍රමයක් ගෙන ඒම සඳහා විසිවැනි සංශෝධනය සම්මතකර ගැනීමට ද ජනාධිපතිවරයා සිය උපරිම ශක්තිය යෙදවීය. වෙනත් පක්ෂ කර ඇරීම හා විවිධ මතභේද ඇතිකර ගැනීම නිසා සංශෝධනය සම්මත කළ නොහැකි විය. එසේ වුවද ජනාධිපතිතුමාගේ උත්සාහයට අවශ්‍ය ගෞරවය හිමිවී තිබිණි.
ජනාධිපතිතුමා නව මැතිවරණ ක‍්‍රමයක් ගෙන ඒමට කැපවූයේ රටේ දේශපාලනය පිරිසිදු කරන්නටය. කුඩුකාරයන්, එතනෝල්කාරයන්, බුකී කාරයන්, ¥ෂිතයන් පාර්ලිමේන්තුවට පිවිසීම වළක්වන්නටය. එමගින් යහපාලනයක් ඇති කරන්නටය. මහජනයා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ගෞරවයෙන් සැලකූයේ එතුමා මේ උදාර අරමුණ වෙනුවෙන් කැපවී ක‍්‍රියාකරන බව පෙනීගිය නිසා බව පැහැදිලිවූ නිසාය.
කුමක් දෝ හේතුවක් නිසා දින කිහිපයකින්, නැතහොත් සතියකින් හමාරකින් සියල්ල කණපිට හැරුණු බව පෙනෙන්නට ඇත. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රටේ තිබූ ගෞරවනීය වීර ප‍්‍රතිරූපය මේ මොහොත වනවිට බිඳවැටී අවසානය. මෙරට ජනමාධ්‍ය තුළින් පිළිබිඹුවන ජනමතය අනුව පෙනී යන්නේ එම තත්ත්වයයි. ජනාධිපතිතුමා ජනතාව අමතා කළ ප‍්‍රකාශයෙන් එම තත්ත්වය තරමක් සමනය වූවා වි හැකිය. එසේ වූවද එයින්ද සියල්ල යථාතත්ත්වයට පත් වූ බවක් පෙනෙන්නට නැත.
සියල්ල සිදුවූයේ මහ මැතිවරණයට නාම යෝජනා ලබාදීමේදීය. හිටපු ජනාධිපතිවරයාට පක්ෂ කණ්ඩායමක් දිගටම කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවයි. ඒ ගැන ජනාධිපතිතුමා කලක් කිසිවක් නොකීවද ඔහුට සම්බන්ධ රාජිත සේනාරත්න වැනි ඇමතිවරුන් කීවේ කිසිදාක එය සිදුනොවන බවයි. අගමැති අපේක්ෂකත්වය හෝ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයක් හෝ නාමයෝජනා හෝ රාජපක්ෂ මහතාට නොලැබෙන බව ප‍්‍රකාශ කරන ලද්දේ දැඩි විශ්වාසයෙනි.
පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණය කැඳවීමත් සමග සියල්ල වෙනස් විය. පළමුවෙන් දැනගැනීමට ලැබුණේ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලැබෙන බව පමණකි. එය ද කොන්දේසි යටතේය. හම්බන්තොටින් තරග කළ යුතු වීම, අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය නොදීම එම කොන්දේසි ලෙස ප‍්‍රකාශ විය. එමෙන්ම ¥ෂණ වංචා චෝදනා ලැබූ කිසිවකුට සන්ධානයේ නාම යෝජනා නොදෙන බව ද කියැවිණි.
ඉන්පසුව දිනපතා මෙම ස්ථාවරය වෙනස් විය. මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගලින් නාම යෝජනා ලැබිණ. කණ්ඩායම් නායකත්වය ද ලැබී ඇති බව වාර්තා විය. ¥ෂිතයන්, චෝදනා ලැබූවන් ලෙස මර්වින් සිල්වාට, සරණ ගුණවර්ධනට, දුමින්ද සිල්වාට හා සජින් වාස් ගුණවර්ධනට පමණක් නාම යෝජනා නොදෙන බව ප‍්‍රකාශ විය. එසේ වුවද සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳට නාමයෝජනා ලැබී ඇත.
මෙම වර්ධනයෙන් වැඩි වශයෙන්ම කම්පනයට පත්වූවෝ රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සන්ධානයෙන් එළියට ආ මැති ඇමතිවරුය. එමෙන්ම සිවිල් සමාජ සංවිධානවලට ද මෙය බරපතළ කම්පනයක් විය. එනම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ ඉහළම විශ්වාසයක් තබා ඒ මත තම දේශපාලන සැලසුම් ගොඩ නඟා තුබූ  පිරිසයි.
ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමන්නට බලවේග ගණනාවක් අත්වැල් බැඳගත් බව පැහැදිලිය. එහි මූලිකත්වය ගත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන් ප‍්‍රමුඛ සිවිල් සමාජ කණ්ඩායම් බවට සැකයක් නැත. අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක් හා ජාතික හෙළ උරුමය වෙනත් මඟකින් එයට එක්විය. මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රීලනිප මන්ත‍්‍රීවරු කිහිප දෙනෙක් එළියට ආහ. මුස්ලිම් පක්ෂ කණ්ඩායම් තවත් පෙරමුණකි. දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ස්වාධීනත්වය රැුක ගනිමින් මෙම ක‍්‍රියාවලියට දායක විය.
එජාපයට, ජවිපෙට, දෙමළ සන්ධානයට සහ මුස්ලිම් පක්ෂවලට මහ මැතිවරණයේදී තමන්ගේ අනන්‍යතා රැුකගෙන වෙනම තරග කිරීමේ උපාය මාර්ගය තිබිණ. හිටපු ජනාධිපතිවරයාට පක්ෂ කණ්ඩායම කීවේ ඒ සැලසුම හෝ බී සැලසුම තමන් සතු බවයි. එනම් සන්ධානයෙන් තරග කරන්නට නොලැබෙන්නේ නම් වෙනම තරග කරන බවයි.
ඒ අතර තවත් පිරිසක් කෙළින්ම සිටියේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සටනෙහි ය. ජාතික හෙළ උරුමය හා රාජිත සේනාරත්න ප‍්‍රමුඛ ඇමැති පිරිස සිටියේ ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව එතුමාගේ පෙරමුණ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය හා මහින්ද රාජපක්ෂ කණ්ඩායම සමඟ සටන් වැදීමේ සූදානමින්ය. රාජපක්ෂ මහතා සමඟ එක පෙරමුණකට යන්නට මෙම පිරිස කිසිදාක සූදානම්ව සිටියේ නැත. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති වෙනසින් වඩාත් අපහසුතාවට පත්වූයේ ඔහු සමඟම සිටි මෙම පිරිසයි. මේ කණ්ඩායම නන්නත්තාරවූ බව හෝ අතරමං වූ බව හෝ කිවහොත් අතිශයෝක්තියක් වන්නේ නැත.
මෙම පිරිසට අවශ්‍යව තුබුණේ එජාපයට හා මහින්ද රාජපක්ෂ පිලට වෙනස්ව තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමටය. හෙළ උරුමය ඔවුන්ගේම ගමනකට සැලසුම් කළේ මාස ගණනාවකට පෙර සිටයි. මැතිවරණයේ දී මතුකළ යුතු ප‍්‍රශ්න ගැනද එම පක්ෂය ප‍්‍රකාශ කොට තිබිණි. මේ සියලූ දෙනා තම දේශපාලන අනාගතය ගැන සිතුවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ගමන් කරමිනි. දැන් ඔවුන්ට ඒ සියලූ බලාපොරොත්තු අතහැර එජාපය සමග සන්ධානගතවන්නට සිදුව තිබේ. එය ඔවුන්ගේ පැත්තෙන් ඛේදවාචකයකි.
ජනාධිපතිතුමා ගැන විශ්වාසය තබාගෙන සිටි සිවිල් සමාජ බලවේගවල තත්ත්වය හොඳින්ම ප‍්‍රකාශ වූයේ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගෙනි. උන් වහන්සේ ප‍්‍රකාශ කළේ දැන් තමන්ට දේශපාලනය තිත්ත වී ඇති බවයි. වරෙක උන්වහන්සේ කීවේ මින්පසු දේශපාලනය ගැන කිසිවක් කතා නොකරන බවයි. උන් වහන්සේගේ කලකිරීමේ තත්ත්වය ඒකයි.
ජනාධිපතිතුමා සමඟ සිටි පිරිසට කලකිරීමට හේතුවූ කරුණු හොඳටම ප‍්‍රමාණවත්ය. ¥ෂණයෙන් හා භීෂණයෙන් පිරි පාලනයක් ගෙනගිය නායකයා මහින්ද රාජපක්ෂයි. ඔහුට නාම යෝජනා දුන්විට අනෙක් ගෝලබාලයන්ට එයම විශාල හයියක් වන බවට සැකයක් නැත. සන්ධානයේ නාම යෝජනා ලැයිස්තු දෙස බැලූවිට තත්ත්වය වඩාත් පිළිකුල් සහගතය.
පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ කණ්ඩායම එක අතෙකින් ක‍්‍රියාත්මක වූයේ භීෂණය පතුරා මෛත‍්‍රීගේ ආධාරකරුවන් බියවද්දා ජනාධිපතිවරණය ජයගන්නටය. එය හරි ගියේ නම් ජනාධිපතිවරයාම කියන පරිදි එතුමාත් එම පවුලේ උදවියත් මේ වනවිට සිටින්නේ පොළොවේ අඩි ගණනකට යටින් වීමට ඉඩ තිබිණි. එම භීතියේ එක බිල්ලක් ගත්තේ රත්නපුරයේදී ය. ඒ මෛත‍්‍රීපාල මහතාගේ රැුස්වීමක සැරසිලි කළ අයකු වෙඩිතබා ඝාතනය කිරීමෙනි. දැන් එම ඝාතනයට සැකපිට රිමාන්ඞ්භාරයේ සිටින සැකකරුද ඡුන්ද අපේක්ෂකයෙකි. ඒ මෛත‍්‍රීපාල මහතා නායකත්වය දරන පක්ෂයෙනි. එසේ වනවිට ජනාධිපතිතුමාගේ ආධාරකරුවන්ට ලැජ්ජා හිතීම පුදුමයක් නොවේ.
සන්ධානයේ ඇතැම් නායකයන් දැන් කියන්නේ ¥ෂිතයකු යනු උසාවියෙන් දඬුවම් ලැබූවකු පමණක් බවයි. එසේ වුවද ගමේ කෙහෙල් කැන් කපන්නේ, කසිප්පු විකුණන්නේ කවුදැයි සාමාන්‍ය ජනයා දන්නේ පොලිස් හෝ උසාවි වාර්තාවලින් නොවේ. සන්ධානයේ වත්මන් නාමයෝජනා අතර එලෙස මහජනයා හොඳින්ම දන්නා ¥ෂිතයන් මෙන්ම චෝදනා ලබා සිරගතවූවන් පවා සිටින බව පැහැදිලිය. මේ පිරිස මහින්ද රාජපක්ෂ මහතා සමඟ වෙනම කණ්ඩායමක් ලෙස තරග කළා නම් සන්ධානයේ ඡුන්ද දෙකට බෙදෙන බව ඇත්තකි. එසේ වුවද පිරිසිදු දේශපාලනයට තිබෙන ඡුන්ද ගොඩ වෙන්කර ගැනීමට එමගින් හැකියාව තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ ලොකුම පාවාදීම කළ බවයි. සිරිසේන මහතාගේ කඬේ බඩු ෂුවර් නෑ කී ජවිපෙට දැන් කිසිදු තැතිගැන්මක් නැත. මෙතෙක් සිරිසේන මහතාට යහපාලනය වෙනුවෙන් සහායදුන් යම් පිරිසක් දැන් ජවිපෙට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. එබැවින් ඔවුන්ට නම් මෙය ආශිර්වාදයකි. කියලාවත් කරගන්නට බැරි වැඩකි. එයට ජවිපෙ යටිහිතින් ජනාධිපතිවරයාට ස්තූති කරන බව නොඅනුමානය.
එක්සත් ජාතික පක්ෂයට තම සගයාගේ ක‍්‍රියා මාර්ගය යම් තැති ගැන්මක් වූවා විය හැකිය. සන්ධානය බෙදී තරග කළා නම් එජාපයට ඉහළ ජයග‍්‍රහණයක් ලැබෙන බව පෙනෙන්ට තිබිණ. ජනාධිපති සිරිසේන මහතා හැදුවේ එය වළකන්නට බව ඒ මහතාගේ ප‍්‍රකාශයෙන්ද පැහැදිලිය. එසේ වුවද මේ වනවිට එය සිදුවී තිබෙන්නේ සන්ධානය මහින්ද පිලට භාරදී අනෙක් පිරිස එළියට බැසීමකි. එපමණක් නොවේ ඒ සියලූ දෙනා එජාපය යටතේ සන්ධානගතවීමයි.
මෙය එජාපයට ද වෙස්වලාගත් ආශිර්වාදයක් බව පෙනෙන්ට තිබේ. ජනවාරි අටවැනිදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටි බලවේග දැන් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟය. එදා දේදුනු සන්ධානයේ නායකයා මෛත‍්‍රීපාලය. ආණ්ඩුව හදනවිට ප‍්‍රබල චරිතය වූයේ ඔහුය. රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිව තිබුණේ දෙවැනි ස්ථානයයි.
දැන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ගේම දේශපාලන බල පදනම බිඳ දමාගෙන ඇත. එය යළි ගොඩනඟා ගැනීමට ජනාධිපතිතුමා උත්සාහ දරන බව පෙනෙන්නට ඇත. එසේ වුවද ඔහුට සහාය දුන් කිට්ටුම පිරිස දැන් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟය. සිරිසේන මහතා තනිවී ඇති අතර එතුමා දැන් පත්ව සිටින්නේ හුදකලා වූවකුගේ තත්ත්වයට බව පෙනෙන්නට තිබේ.
මෙම ක‍්‍රියාවලියේ යහපත් වර්ධනය වන්නේ මැතිවරණයේ දී බිඳෙන්නට ගිය යහපාලන සන්ධානය එක පෙරමුණක් ලෙස ගොනුවීමයි. මහින්දට සන්ධානයේ නාමයෝජනා නොදුන්නේ නම් ඇතිවන්නේ තුන්කොන් සටනකි. එහි එක පිළක් මහින්ද කණ්ඩායමයි. අනෙක් පිල් දෙක වන්නේ යහපාලන වැඩපිළිවෙළේ එකට සිටි රනිල් වික‍්‍රමසිංහගේ එජාපය හා මෛත‍්‍රීපාලගේ සන්ධාන කණ්ඩායමයි. දැන් පසුව කී දෙපිලම එකට සිටින්නේ මෛත‍්‍රීපාල නොමැතිවය.
මෙලෙස යහපාලන පෙරමුණ එක් පිලක් වීම දේශපාලන වශයෙන් වඩා යහපත්වීමටද ඉඩ ඇත. දැන් මෙම පෙරමුණට බරපතළ අභ්‍යන්තර ගැටුම් නොමැතිව යහපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇත. තොරතුරු දැන ගැනීමේ පනත හා විගණන පනත සම්මත කර ගැනීම, නව මැතිවරණ ක‍්‍රමයක් සැකසීම වැනි ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යා හැකිය. මෙම පෙරමුණට එක් වී සිටින සිවිල් සමාජ බලවේගවල ශක්තිය එහිදී ඉතා වැදගත් වනවා ඇත.
ජනාධිපතිතුමා රට හමුවේ පසුගියදා ප‍්‍රකාශ කළේ තමන්ගේ මුල් ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බවයි. එසේ වූවද පැවැති තත්ත්වය යටතේ තමන්ට තුබු හොඳම විකල්පයට ඉඩදුන් බව සිරිසේන මහතා කියයි. එසේ වූවද සාමකාමී මහජන විප්ලවයක නායකයාගෙන් ජනතාව අපේක්‍ෂා කරන්නේ හුදු ප‍්‍රතිචාර දැක්වීමක් නොවේ. අභියෝගවලට සෘජු ලෙස මුහුණ දී ඒවා පරාජය කිරීම ජනයා අපේක්‍ෂා කරති. එය ඉටු නොවූ විට ඇති වන අප‍්‍රසාදය නිදහසට කරණු කීමෙන් යටපත් වන්නේ ද යන්න සැක සහිතය.
ජනාධිපතිවරයා කී පරිදි ජනාධිපතිවරණය පැරදුණේ නම් එතුමාට සිටින්නට වන්නේ පොළොවේ අඩි හයක් යටිනි. ඒ ශාරීරික වශයෙනි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පැරදුණ නිසා එම අනතුර මගහැරිණි.
එසේ පොළොවේ යටටම යන්න සිටි ජනාධිපතිවරයා දැන් පරාජිත මහින්දට නාමයෝජනා දෙන්නට ඉඩ හැරීමෙන් තමන්ගේ දේශපාලන වළේ අඩි ගණනක් යටට ගොස් ඇති බවක් පෙනෙන්ට තිබේ. එය එසේම වනු ඇත්ද යන්න මෙන්ම ජනාධිපතිවරයාගේ ක‍්‍රියා හා කතා මගින් එම තත්ත්වය වෙනස්වේද යන්න තවමත් අවසන් වශයෙන් නිගමනය කළ නොහැකි යැයි කවුරුන්හෝ කිව හැකිය. කෙසේ වෙතත් ජනාධිපතිවරණයෙන් පැරදුණා නම් පස් යට යන්නට සිටි ජනාධිපතිවරයා එය දිනූ පසු තමන්ගේම මිනීවළ හාරා ගත්තේ නම් එය සමාව දිය නොහැකිය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *