බලය බෙදන්නේ නම් ඒකීය භාවය හා බුද්ධගම නව ව්‍යවස්ථාවට ද ඇතුල් කිරීමට ඔවුන් එකඟයි- මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති- ජ්‍යෙෂ්ට නීතිඥ ලාල් විජේනායක

නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසීමේ කොමිසම හැටියට අපි දැන් භාෂා තුනෙන් ම වාර්තාව සකස්කර අවසන් ය. දැන් තිබෙන්නේ එම වාර්තාව ව්‍යවස්ථා සභාවට භාරදීමට ය. ව්‍යවස්ථාවක් ගැන මහජනයා කියන්නේ මොනවා ද යන්න, අපගේ නිර්දේශත් සමග වාර්තාවක් සකස්කර ව්‍යවස්ථා මණ්ඩලයට භාරදීම තමයි අපිට නියම වී තිබෙන කාර්ය වන්නේ. ඒ අනුව අපි ජනතාව ඉදිරියට ගොස් අදහස් ලබාගත්තෙමු. ඒ අදහස් ලබාගත්තේ අපි ඉදිරිපත් කළ කරුණු 20ක් යටතේ ය. ඒ සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවකට අදාළ කරුණු වේ. බලය බෙදීම, රාජ්‍යයේ ස්වරූපය, අධිකරණය හා දෙවැනි මන්ත්‍රණ සභාව වැනි නොයෙකුත් කරුණු එයට ඇතුළත් විය. මේ යටතේ දිවයින් පුරා 2000 ගණනක ගේ අදහස් මේ වාර්තාවට ඇතුළත් ය. මේවායින් අර්ධයක් පමණ අදහස් ඉදිරිපත්කර ඇත්තේ තනි පුද්ගලයින් නොව සමිති සමාගම් ය. මෙයට අමතරව විදේශවල ජීවත්වන ශ්‍රි ලංකීකයන් ද ඇතුලත්ව තවත් ලිඛිතව ලැබුණු 2000කගේ පමණ අදහස් ද මේ වාර්තාවට ඇතුලත්කර තිබේ.
මේ වාර්තාව සකස්කර තිබෙන්නේ පහත සඳහන් ආකාරයට ය. ජනතාවගෙන් ලබාගත් මේ අදහස් පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවට මාස දෙකක් පමණ මිඩංගු කිරීමට සිදුවිය. එයින් පසුව තීරණ අරගෙන වාර්තාව සකස් කිරීමට මාස දෙකක් පමණ ගතවිය. කැමට පමණක් සුළුවේලාක් ලබාගෙන උදේ 9.30 සිට රාත්‍රි 10ය පමණ වනතුරු මේ කාර්යයේ කමිටු සාමාජිකයෝ නිරත වූහ. කමිටු සාමාජිකයින් 20 දෙනාගේම අදහස් ගැනීම නිසයි මෙවැනි කාලයක් ගන්නට සිදුවූයේ. මේ සමස්ත වැඩ පිළිවෙලට මාස 5ක් ගත වූ අතර ඒ මාස 5ක්ම මුලු දවසම වාගේ වැය වූයේ මේ කාර්ය නිමකර ගැනීම සඳහා ය.
වාර්තාව සකස් කිරීමේ දි අනුගමනය කළ ප්‍රතිපත්තිය මෙසේ ය. මහජනයා ඉදිරිපත් කළ අදහස් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළයුතුය යන ප්‍රතිපත්තිය අපි සියළුදෙනාම පිළිගත් හ. මහජනතාව ලබාදුන් ඒ සියලුම අදහස් වාර්තාවට ඇතුලත්කර තිබේ. එයින් අදහස් වන්නේ එක් එක් අයගේ එක් එක් අදහස් හැටියට නොව මා පෙර කියූ කරුණු 20 ට අදාළව එක් එක් කෙනාගේ අදහස් ඇතුලත් කර ඇත. ඒ මිනිසුන් මේ කාරණාව ඉදිරිපත් කරන්නේ ඇයි ද යන්නට වැදගත් හේතු ඉදිරිපත් කර ඇති නම් ඒ වැදගත් හේතු ද මෙහි දක්වා ඇත. ඊට පසු ඒ කරුණු ආමාන්ත්‍රණය කිරීමට අපගේ නිර්දේශයන් මොනවාද යන්න ඊ ළගට ඇතුලත් කළේ ය.
මෙහිදී හැම එකකටම අපි නිර්දේශ ඉදිරිපත්කර නැත. මක්නිසා ද යත් සමහර හේතු සඳහා කුමක් නිර්දේශ කළයුතු ද යන්න සොයා බැලීම ව්‍යවස්ථා මණ්ඩලයට පැවරී ඇති කාර්යක් වේ. එම තීරණ ව්‍යවස්ථාදායක මණ්ඩලයට ගැනීමට ඉඩතැබීමට අපි වගබලා ගත්තෙමු. උදාහරණයක් ලෙස රාජ්‍යයේ ස්වරූපය කුමක් විය යුතු ද යන්නට පිළිතුර ලෙස ජනතාව විවිධ අදහස් ඉදිරිපත්කර ඇත. සමහරු සන්ධිය ක්‍රමයට කැමති අතර සමහරු ඒකිය ක්‍රමයට කැමති ය. තවත් සමහරු පාර්ලිමේන්තු ක්‍රමයකට කැමති අතර තවත් සමහරු කියන්නේ 19වෙනි සංශෝධනය ඇතුලත්ව ජනාධිපති ආණුඩුක්‍රමට තබාගත යුතු බව ය. මේ වාගේ බැරෑරුම් ප්‍රශ්නයකට නිර්දේශයක් ඉදිරිපත් කළ යුත්තේ මේ කමිටුව නොව ව්‍යවස්ථාදායක සභාව ය. ඒ නිසා ඒකට අපි නිර්දේශ ඉදිරිපත් නොකළෙමු.
මේ සම්බන්ධයෙන් කමිටුවේ ද පොදු මතයක් නොතිබුණි. ඒ නිසා රාජ්‍යයේ ස්වරූපය කෙසේවිය යුතු ද යන කරුනේ දී කමිටු සාමාජිකයින් ලෙස පොදු නිර්දේශයක් නැතත් කමිටු සාමාජිකයින් ගේ නිර්දේශ හා ඒවාට හේතු දක්වා ඇත. බොහෝ විට යම් එකගතාවයකින් මේ නිර්දේශ ලබාගන්නට උත්සාහ කළ අතර එසේ එකගතාවයක් ලබාගැණිමට නොහැකි වූ අවස්ථාවල දි ඒ ආකාරයට පොදු නොවන මත ඉදිරිපත් කර ඇත.
මෙසේ ඉදිරිපත් කිරීමෙන් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව මහජනතාවගේ අදහස්වල කැඩපතක් ලබාගැනීමට හැකිවී ඇත. මේ කැඩපත ව්‍යවස්ථා සභාවට තින්දුවක් ගැනීමට මහත් සේ උපකාරිවන බව අපගේ අදහස ය. මා හිතන්නේ ව්‍යවස්ථාදායක සභාවට මේ වාර්තාව වැදගත් වන්නේ ඒ ආකාරයට ය. මේ මගින් රාජ්‍යයේ ස්වරුපය පිළිබඳ සමාජයේ තිබෙන මත මොනවා ද යන්න ඒ අයට පැහැදිළි කරගත හැකිවනු ඇත. ඒ අනුව කුමන වර්ගයේ ව්‍යවස්ථාවක් හදනවා ද යන්න ඒ අයට තිරණය කළ හැක.
ඒ වාර්තාව පිටු දෙසිය ගණනකින් සමන්විත වන අතර ඊට අමතරව ඇමුණුම් ගණනාවක් තිබේ. මේ වාර්තාව නව ව්‍යවථාව හැදීමේ දී සැළකිල්ලට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. වාර්තාවේ අදහස් හා නිර්දේශ ගැන ඔවුන් සැළකලිමත් බව දැනටමත් පෙනෙන්නට තිබේ. මක් නිසාද යත් මේ වාර්තාව ඉක්මනින් ලබාගැනීට ඔවුන්ට අවශ්‍යතාවයක් ඇති බව අපිට කළ කරදරයෙන්ම පැහැදිළි වේ. වාර්තාව භාරදීමටත් ප්‍රථමයෙන්ම මොන මොන විෂයට අදාළව ද කාරක සභා පිහිටුවිය යුත්තේ යනුවෙන් ව්‍යවස්ථා සභාව අපගෙන් ලිඛිතව විමසී ය. ඒ අනුව කාරක සභා 6ක් පිහිටුවා ඇති අතර ඒ කාරක සභා 6ට විෂයන් සියල්ල බෙදා ඇත. මා ඉහතින් සඳහන් කළ ආකාරයට අපි කරුණු විමසා ඇත්තේ විෂයන් 20කට අදාළව ය. එහෙයින් එම විෂයන් 20 කමිටු 6ට බෙදා දී තිබේ.
කැපී පෙනෙන කරුණු මෙසේ ය. රටේ තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලනඥයින් බලන ආකාරය සහ ජනතාව බලන ආකාරයේ විශාල වෙනසක් තිබේ. දේශපාලනඥයින් අසන්නේ ෆෙඩරල් ක්‍රමයක් ද නැද්ද යන ආකාරයට ය. ජනතාවට අවශ්‍ය තමන්ගේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න දැනගැනීමට ය. ෆෙඩරල් ක්‍රමය ඉල්ලන අය කියන්නේ ද පවතින ක්‍රමයෙන් තමන්ගේ ප්‍රශ්න නොවිසඳෙන බව ය. දකුණේ ජීවත් වන අය කියන්නේ ද තමන්ගේ ප්‍රශ්න නොවිසඳෙන බව ය. ඒ අනුව හදන්නේ කුමණ ක්‍රමයේ ව්‍යවස්ථාවක් ද යන්නට ප්‍රථම පවතින ක්‍රමයෙන් තමන්ගේ ප්‍රශ්න විසදී නැති බවට වන පොදු මතයක් රටේ තිබේ.
මෙයින් පෙනීයන්නේ ව්‍යවස්ථාවේ පමණක් නොව පරිපාලනයේ ද බරපතල වරදක් තිබෙන බව ය. ජනතාව තුළ දේශපාලනඥයින් ගැන විශාල කලකිරීමක් ඇත. දෙවැනිව පරිපාලන සේවය ගැන ද ඇත්තේ කළකිරීමකි. මේ පරිපාලන සේවය ජනතාවට සමීප, ජනතාවට හිතකර එකක් නොවන බවයි ඔවුන් පවසන්නේ. මෙයට අමතරව රටේ පවතින නීති ක්‍රමය ගැන ද ජනතාව අතර විශාල කළකිරීමක් ඇත. නීතියෙන් පිහිටක් නැතිවා පමණක් නොව එයින් අමාරුවේ වැටෙන බවයි ඔවුන් පවසන්නේ. නඩු කියන්න යනවිට ගෙවල් දොරවල් පවා විකිණිමට සිදුවන බව ඔවුහූ පවසති. ජනතාව මතු කරන්නේ එවැනි ප්‍රශ්න ය. මේ ප්‍රශ්න විසඳිමට ව්‍යවස්ථාවෙන් පදනමක් හැදිය හැකි නමුත් මේවා ව්‍යවස්ථාවකින් පමණක් විසඳිය හැකි ප්‍රශ්න නොවේ. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය පිළිබඳව මෙන්ම අවංකභාවය පිළිබඳ ප්‍රශ්න ද මෙතන ඇත. මීට අමතරව කැපවීම පිළිබඳව ද ප්‍රශ්න තිබේ. වැටුප් අරගෙන නිකන් ඉන්නවා ද, රාජ්‍ය සේවකයෝ ගන්න වැටුප වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන්නේ ද යන ප්‍රශ්නය ද මෙතන ඇත.
රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිකරණයට භාජනය වියයුතු බවට වන හැගීම මහජනතාව තුළ බරපතලව ඇත. මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ අත්දැකීම එයට හේතු වී ඇත. එතන දී ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ දැඩි කඩාවැටිමක ය. ජනවාරි 08වෙනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට තමන් ඡන්දය දුන්නේ ඇයි ද කියන අදහස ජනතාව තුළ තවම ඇත. ඒක හරිගැස්සිම සඳහා තමයි මේ ආණ්ඩු ක්‍රමයක් හඳාුන්වා දෙන්නට යන්නේ කියන අදහස ජනතාව තුළ තිබේ. රටේ සංහිඳියාවක් ඇති කිරීමට යමක් කළයුතු බව ජනතාව පිළිගනිති. එසේ නැතිව මේ රටට ඉදිරියට යා නොහැකි බව ද ඔවූ හු දනිති. නමුත් ඒක කරන්නේ කොහොම ද කියන එකට නොයෙකුත් අදහස් ඇත.
අනික් අතට දේශපාලනඥයින් කෙරෙහි ජනතාව තුළ දැඩි කලකිරීමක් ඇති බව ඉහතින් සඳහන් කළේ ය. ඒ නිසා ජනතාවගේ අභිලාෂයන්ට පටහැනිව ක්‍රියාකරන දුෂිත මහජන නියෝජිතයින් මැතිවරණයට පෙර නැවත කැඳවීමේ ක්‍රමයක් ජනතාව අපේක්ෂා කරති. ජනතා නියෝජිතයෙකු වීමට අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු බවයි ඔවුනගේ අදහස. මේ කිසිදෙයක් දන්නේ නැති මිනිසුන් පැමිණ මේක කොහොමද කරන්නේ යන අදහස ඔවුන්ට තිබේ. එහෙත් ඩී. එස්. සේනානායකට මෙන්ම සිරිමාවේ බණ්ඩාරනායකට ඉහළ අධ්‍යපනයක් නැතත් රට හොඳින් පාලනය කළ බව පෙන්වා දෙනවිට ඔවුන් කියන්නේ ඒ කාලයේ හැටියට ඔවුන් ලැබූ අධ්‍යාපනය ප්‍රමාණවත් බව ය. එහෙත් අද රටේ උගත්තු සිටිය දී කිසිම චාරයක් නැති අය පත්කර ගැනීමට ඉඩද්ීමෙන් රට ගොඩනගන්නට බැරී වී ඇති බවයි ඔවුන් ගේ අදහ ස.
අවසාන වශයෙන් රාජ්‍යයේ ඒකිය භාවය හා බෞද්ධාගමට අනුග්‍රහය දැක්වීම පිළිබඳව දැනට ඇති වගන්ති පිළිබඳව ද යමක් සඳහන් කළයුතු ය. දැනට පවතින දේශපාලන යථාර්තය අනුව ඒක වෙනස් කිරීමට යෑමෙන් නැති අවුලක් හැදෙන බව ඉතා පැහැදිළි ය. නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියක් මෙන්ම ජනමත විචාරණයකින් අනුමත කරගතයුතුව ඇත. එහෙයින් අනුමත කරගත නොහැකි ව්‍යවස්ථාවක් හැදීමෙන් පළක් වන්නේ නැත. අනික් අතට සුළු ජාතින් මෙන්ම අනිකුත් ආගමික නායකයින්ට ද උක්ත වගන්ති දෙක තිබීම ප්‍රශ්නයක් නොවේ. තම ප්‍රශ්න ආමන්ත්‍රණය කළ හැකි අර්ථින්විත බලය බෙදීක් තිබෙන්නේ නම් අර කී වගන්ති දෙක තමන්ට ප්‍රශ්නයක් නොවන බව අපගේ සාක්ෂි විමසීමේ දී ඔවුන් පවසා ඇත. අපි යථාර්ථය පිළිගන්නේ නම් ඒ වගන්ති දෙක එසේ තිබියදි ම කාටත් එකගවිය හැකි ආණ්ඩු ක්‍රමයක් සකස්කර ගන්නට බැරිකමක් නැත.
මෙයට අමතරව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට නිර්දේශ ගණනාවක් අපේ වාර්තාවෙන් ඉදිරිපත්කර තිබේ. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය. රැකියාවක් කිරීමේ අයිතිය මෙන්ම දේපොල අයිතිය ද මෙයට ඇතුලත් ය. මේවා ඒ ආකාරයටම අනුමත වුවහොත් දකුණේ මෙන්ම උතුරේ සිදුවන ආකාරයට නොයෙක් හේතු දක්වා තමන්ගේ නිවාස වලින් මිනිසුන් එළියට ඇද දමන්නට නොහැක. දැනට ලෝකයේ ඇති හොඳම මූලික අයිතාවාසිකම් පරිච්ඡේදය ඇත්තේ ටිමෝරයේ ආණ්ඩුක්‍රමයේ ය. අපගේ නිර්දේශ අනුව නව මුලික අයිතවාසිකම් පරිච්ඡේදය සකසන්නේ නම් එය ලෝකයේම තිබෙන හොඳම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය වනවාට කිසිම සැකක් නැත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *