තීරණාත්මක තීන්දු ගන්න බැසිල් හෙට එයි ; අගමැති මහින්ද අනිද්දා යයි

ඉදිරි දිනවල තීරණාත්මක දේශපාලන ආර්ථික තීන්දු රැසක් ගැනීමට දායක වීම සඳහා මුදල ඇමති බැසිල් රාජපක්ෂ මහතා හෙට දිනයේ දිවයිනට ලඟා වනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

රටේ ආර්ථික තත්ත්වය සහ විදේශ විනිමය අර්බුදය පිලිබඳ තීරණ ගැනීමට සඳුදා කැඳවා ඇති විශේෂ කැබිනට් රැස්වීමට සහභාගී වීමත්, ආණ්ඩුවේ සිදු කිරීමට යන සුවිශේෂී තනතුරු වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමත් බැසිල් රාජපක්ෂ මහතා පැමිණීමෙන් පසු ඉදිරි දිනවල සිදු කිරීමට නියමිත බව ද කියති.

බැසිල් රාජපක්ෂ මහතා පැමිණෙන්නේ ඇමෙරිකාවේ සති තුනක නිවාඩුවක් ගත කිරීමෙන් පසුව ය.

මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අනිද්දා ( 2 දා ) ඩුබායි බලා යාමට නියමිත අතර සඳුදා පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට ඒ මහතා සහභාගී නොවනු ඇත.

අගමැති රාජපක්ෂ මහතා දින කිහිපයක් විදේශ ගතව සිටිනු ඇතැයි කියති.

සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ආර්ථිකයේ තත්ත්වය පිලිබඳ කරුණු දැක්වීමට භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද කැඳවා ඇත.

ඉදිරි සති දෙක තුළ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙනු ඇතැයි වාර්තා වන අතර මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරින් ඉවත්වන බවටත් බැසිල් රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත්වන බවටත් ආරංචි පැතිර ගොස් ඇත.

කෙසේ වෙතත්, අපගේ දේශපාලන ආරංචි මාර්ග කියන්නේ කිසිවකු නොසිතන ආකාරයේ දේශපාලන වෙනස්කම් රැසක් ඉදිරි කාලයේ සිදුවනු ඇති බවයි. ඒ සඳහා දේශපාලනයේ තිරය පිටුපස සාකච්ඡා රැසක් මේ දිනවල සිදුවන බවත්, එම සාකච්ඡාවල ප්‍රතිඵල රහස් ලෙස තබා ගැනීමට දේශපාලඥයින් ගිවිසගෙන ඇති බව පෙනෙන බවත්, අපගේ ආරංචි මාර්ග කියයි.

දැනට පැතිරෙන ඇතැම් ආරංචි සැබෑ සැලසුම් වසන් කිරීමට කරන ප්‍රචාර වීමට ඉඩ ඇති බව ද අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

කවුරුන් කෙලෙස සැලසුම් කළ ද, ඒ සියල්ල විශාල ගැටුම්කාරී තත්ත්වයකට මග පාදනු ඇතැයි ද විශ්වාස කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *