මහ බැංකු අධිපති බැංකුවල ඩොලර් හුරා සංචිත ඉලක්කය පෙන්වයි !! ණය සතයක්වත් මෙතෙක් ලැබී නැහැ !!!

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණය තමන් කලින් ප්‍රකාශ කළ ඩොලර බිලියන 3 ඉක්මවා  අද බිලියන 3.1 ක් මට්ටමට ළඟා වූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළ නමුත් එම මුදල් ලැබුණු ආකාරයක් ප්‍රකාශ කොට නැත.

ශ්‍රී ලංකා මහ බැංකුව දින කිහිපයකට පෙර මෙරට සියලු බැංකුවලට නියෝග කළේ තමන්ට ලැබෙන සියලු වීදේශ විනිමය මුදල් වලින් සියයට 25 ක් අනිවාර්යයෙන් මහ බැංකුවට ලබාදිය යුතු බවයි. එමගින්  කොපමණ මුදලක් ලබාගත්තේදැයි මහ බැංකුව තවමත් ප්‍රකාශ කොට නැත.

කෙසේ වෙතත් බැංකුවලට නිතිපතා ලැබෙන ඩොලර් ප්‍රමාණය ද මහ බැංකුව ලබා ගැනීම රටේ ව්‍යාපාරික කටයුතුවලට බරපතළ හානියක් බව නිරීක්ෂකයෝ කියති.

එමෙන්ම රටේ ආනයන සඳහා මුදල් නිදහස් කිරීම ද මහ බැංකුව විසින් විශාල ලෙස සීමා කොට තිබේ. මෙරට මසක සාමාන්‍ය ආනයන වියදම ඩොලර් බිලියන 1.6 කි. එම මුදල්වලින් විශාල කොටසක් මහ බැංකුව හිර කරගෙන සිටීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් 1500 ක් වරායේ සිර වී ඇති අතර වෙනත් භාණ්ඩ බොහොමයක් ආනයනය නැවතී ඇත. ඒ අතර මෙරට නිෂ්පාදන සඳහා අවශ්‍ය යෙදවුම් ද විශාල ප්‍රමාණයක් වෙයි. එම යෙදවුම් නොමැතිව නිෂ්පාදන කළ නොහැකි බවට නිෂ්පාදකයෝ මැසිවිලි නගති.

රජය විදේශවලින් ණය ඉල්ලා ඇතත්, ඒ කිසිවක් ලැබී ඇති බවක් මේ දක්වා වාර්තා නොවේ.

ඒ අනුව පෙනී යන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට නිතිපතා අවශ්‍ය මුදල් ලබා නොදී සහ මහ බැංකුවට බලෙන් ලබාගෙන විදේශ සංචිත පිලිබඳ ප්‍රකාශිත ඉලක්කය සපුරා ගැනීමට මහ බැංකුව ක්‍රියා කොට ඇති බවයි.

මහ බැංකුව තම පුරසාරම් සඳහා කරන මෙම වැඩ නිසා සාමාන්‍ය ජනයා විශාල ලෙස පීඩාවට පත්ව ඇති අතර රටේ ආර්ථිකය ද තව තවත් විනාශ වෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *