කෘෂිකර්ම ඇමති මහින්දානන්දගෙන් තවත් ” වගකීමෙන් යුතු සහතිකයක් ” !!!

ඉදිරි කාලයේ රටේ සාගතයක් ඇති නොවන බවට තමන් කෘෂිකර්ම ඇමති ලෙස “වගකීමෙන් යුතුව සහතික වන” බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

මාධ්‍ය වෙත ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම සහතිකය ලබා දුන්නේ ය.

ඒ මහතා මෙම ප්‍රකාශය කළේ පවතින තත්ත්වය යටතේ ඉදිරි කාලයේ රටේ සාගතයක් ඇතිවීම වැළක්විය නොහැකි බව ප්‍රකාශ කළ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ලියනගේ මහතා තනතුරින් ඉවත් කොට එක දිනක් ගත වන්නට මත්තෙනි.

කෘෂිකර්ම ඇමතිවරයා මීට පෙර මෙබඳු “වගකීමෙන් යුතු සහතික” ගණනාවක්  ලබා දී තිබේ.

මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර හිගයකින් තොරව ලබාදෙන බවට ඒ මහතා “වගකීමෙන් යුතු සහතික” යක් දී තිබිණි. දැනේ මහතා පරීක්ෂා කරන්නේ කාබනික පොහොර සමාගම් ගිවිසුම් උල්ලංඝනය කොට ඇති ආකාරය යි.

පසුගිය යල් කන්නයට අවශ්‍ය පොහොර රට තුළ ඇතැයි ඇමතිවරයා “වගකීමෙන් යුතු සහතික” යක් දී තිබිණි. එම පොහොර ගොවීන්ට ලැබුණේ නැත.

රටට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩ සහල් රට තුළ ඇතැයි “වගකීමෙන් යුතු සහතික” යක් දුන් ඔහු සහල් මිල රුපියල් 100 ඉක්මවා යන්නට ඉඩ නොදෙන බව ද “වගකීමෙන් යුතු සහතික” කළේය.

තම මේ “වගකීමෙන් යුතු සහතික”  දුන්නේ කෘෂිකර්මයේ නිලධරීන් තමන්ට දුන් වැරදි ගත්ත මත පදනම් වී බව පසුව එතුමා සොයා ගත්තේය.

මෙබඳු “වගකීමෙන් යුතු සහතික”  රාශියක් දී ඇති මහින්දානන්ද ඇමතිතුමා සාගතයක් ඇති නොවන බවට ද දැන් තවත් සහතිකයක් දී තිබේ.

මහ කන්නයේ ගොවිතැන ගැන නිලධාරීන් තමන්ට බොරු වාර්තා දී ඇතැයි පසුව නොකියන බවට ද “වගකීමෙන් යුතු සහතික” යක් ඔය ගමන් ම දෙන්නේ නම් වඩාත් හොඳ ය.

හැබැයි කොතරම් “වගකීමෙන් යුතු සහතික”  දුන්නත් වෙන දේ වෙනවා ම ය. ඒකට ඇමතිතුමාට කළ හැකි දෙයක් නැත.

ඒ බව තවත් වරක් ඔප්පු කළාට වැඩි වන්නේ නැත.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *