තෙල් මිලත් සමග බස් , තීවීල් ගාස්තුත් ඉහළට ; යෝජිත අවම ගාස්තු : බස් රු.25 යි , තීවීල් 80 යි

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක ඛනිජ තෙල් මිල වැඩි කිරීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 25 දක්වා ද , පලමු කිලෝ මීටරය සඳහා දැනට රුපියල් 50 ක් වන අවම ගාස්තුව රුපියල් 80 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ . අනෙකුත් ගාස්තු ද ඒ අනුව වැඩි වනු ඇත.

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ නව තෙල් මිල ගණන් සහ මේ වනවිටත් ඉහළ ගොස් ඇති වෙනත් ගාස්තු ද සැලකිල්ලට ගෙන මෙම මිල වැඩි කිරීම් ක්‍රියාත්මක කරනු ඇති බව කියති.

අද සිට ක්‍රියාත්මක මිල වැඩිවීම අනුව සාමාන්‍ය පෙට්‍රල් රුපියල් 20 කින් සහ ඩීසල් සහ භූමිතෙල් රුපියල් දහය බැගින් මිල වැඩි කොට තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි නව මිල රුපියල් 177 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 23 කිනි. රුපියල් 184ක්ව පැවති එහි නව මිල රුපියල් 207 ක් වේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 111ක් ව පැවති එහි නව මිල රුපියල් 121 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇත. මීට පෙර රුපියල් 144ක් ව පැවති එහි නව මිල රුපියල් 159ක් වේ.

භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබේ. ඒ, ලීටරයක් රුපියල් 10 කිනි. ඒ අනුව මීට පෙර රුපියල් 77ක් ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 87 ක් වන බව  ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කොට ඇත.

මේ අතර බේකරි හිමියන්ගේ සංගමය කියන්නේ බේකරි නිෂ්පාදන සඳහා මින් ඉදිරියට මිල පාලනයක් නොකරන බව සහ එම මිල ගණන වෙළෙඳ පොළේ තත්ත්වයන් මත තීරණය වීමට ඉඩ සලසන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *