සතියකින් රට ගොඩ දාන බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි.

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1,5 ක් මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මේ වසර අග වනවිට පවත්වාගෙන යාමට අපේක්ෂා කළ ඩොලර්  බිලියන 3 ක මට්ටමට වර්ධනය කළ හැකිවන බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත.

ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් බිලියන 1.5 ක මුදල ලබන සතිය මුල දී ලැබීමට නියමිත බවයි.

මුදල් ලැබුණු පසු මහ බැංකුව ඒ පිළිබඳව නිල දැනුම්දීමක් කිරීමට බලාපොරොත්තු වන නමුත් එතෙක් කිසිවක් කිව නොහැකි බව කබ්රාල් මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා මෙම තොරතුරු ප්‍රකාශ කොට ඇත්තේ සති අන්ත ‘සන්ඩේ මෝනින්’ පුවත්පත සමග සංවාදයකට එළඹෙමිනි .

ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත පිරිසක් පසුගිය සති අන්තයේ කටාර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල සංචාරය කළ බව ද පුවත්පත වාර්තා කොට ඇත.

කටාර් රාජ්ජයයෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.

මීට පෙර චීනයෙන් ඩොලර් බිලියන 1.5 ක ණයක් ලැබෙනු ඇතැයි රජය වසරකට වැඩි කලක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි නමුත් එම මුදල මෙතෙක් ලැබී නැත.

රජය ඉන්දියාවෙන් ද ඩොලර් බිලියන 1,9 ක ණය අපේක්ෂාවෙන් සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *