‘ගිලෙන නැවට නගින්න’ රනිල්ගෙන් බර කොන්දේසි ; 20 සංශෝධනය අහෝසි කර ජාතික ආණ්ඩුවක් !

ආණ්ඩුවට සම්බන්ධ වී අගමැති ධුරය භාර ගන්නේදැයි පසුගිය දා මාධ්‍යය කළ විමසීමක දී ” ගිලෙන නැවකට නගින්න මට පිස්සු නෑ ” යි පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයට සම්බාන්ධ වීමට සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සඳහා බරපතළ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කොට ඇති බවත් , තතු දත් ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට ඇත.

මෙහි දී වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇති එක් කොන්දේසියක් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉවත් කොට ජනාධිපතිවරයා සතු බලයෙන් කොටසක් ඇමති මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවයි.

වත්මන් අර්බුදයට මුහුණ දීමට කෙටි කලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහභාගීත්වයෙන් යුතු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම ද වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට ඇති කොන්දේසියක් බව කියති.

එහි දී විපක්ෂයේ පිරිසකට ද ඇමති ධුර ලබා දිය යුතු බවට එකඟත්වයක් මේ වනවිටත් ඇති බව දැනගන්නට ඇත.

එහි දී ආණ්ඩුවට ඍජුව සම්බන්ධ නොවන පක්ෂවල සහය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල වගකීම් සැලකිය යුතු ප්‍රමාණයක් විපක්ෂයේ පක්ෂවලට පැවරීම සහ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභා වැනි ක්‍රමයක් යලි ක්‍රියාත්මක කිරීම ගැන ද යෝජනා වී ඇති බව කියති.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ මෙබඳු වෙනසක් සඳහා අවස්ථාව සැලසීමට බව ද ඇතැම් ආරංචි මාර්ග කියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සියලු කොන්දේසිවලට ජනාධිපතිතුමා එකඟ වී නැතත්, සියලු පාර්ශවයන්ගේ සහය ලබාගත හැකි එකඟතාවයකට කැමැත්ත පළ කොට ඇති බව දැනගන්නට ඇත.

මෙම උත්සාහයේ අරමුණ වී ඇත්තේ පවතින අර්බුදය හමුවේ ශක්තිමත් තැනක සිට ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීම සහ විදේශ ආයෝජන ලබා ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම යි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයින් කිහිප දෙනෙකු, එජාපයේ ප්‍රධාන නිලධාරීන් , මාධ්‍ය හිමියෙකු, ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු, ආදී පිරිසක් මෙම සාකච්ඡාවලට විවිධ මට්ටම් වලින්  සම්බන්ධව සිටින බව අපගේ ආරංචි මාර්ග කියයි.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මෙම වගකීම භාර ගන්නේ නම් පක්ෂයේ වගකීම් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාට පැවරීම සඳහා මුලික අදහස් විමසීමක් පසුගිය දිනවල සිරිකොත කාර්ය මණ්ඩලය සමග සිදුකොට ඇති බව ද දැනගන්නට ඇත. නව නායකත්වයක් සමග වැඩ කිරීමට ප්‍රශ්න ඇත්දැයි රනිල් වික්‍රමසිංහ මහතා ඇතැම් නිලධාරීන්ගෙන් විමසීම් කොට ඇති බව අපගේ ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , සභාපති වජිර අබේවර්ධන, ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු නායකයින් මේ දිනවට දිස්ත්‍රික් සහ ආසන මට්ටමින් සංවිධාන කටයුතුවල නියැලෙන අතර පාක්ෂිකයන්ගේ අදහස් ලබාගැනීම එහි ප්‍රධාන අරමුණක් වී ඇති බව ද කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *