දොස්තර සාෆිට එරෙහි ‘මව්වරුන්ගේ විරෝධයට’ මව්වරු නොඑති

සිංහල මව්වරුන් 4000 කට වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා නගා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල රෝහලේ නාරි රෝග විශේෂඥ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතාට හිග වැටුප් ගෙවීමේ තීරණයට එරෙහිව අද සංවිධානය කොට තිබු මව්වරුන්ගේ විරෝධතාවට මව්වරුන් සහභාගී වී නොසිටිය බව මාධ්‍යවේදීහු කියති.

මාධ්‍ය වෙත දැනුම් දී තුබුණේ දොස්තර සාෆි විසින් වඳ සැත්කම්වලට ලක් කළ මව්වරුන් අද දින විරෝධතාවක නිරත වන බවයි. එසේ වුව ද අද දහවල් පැවති විරෝධතාවට භික්ෂුන් වහන්සේලා පිරිසක් සහ ප්‍රදේශයේ ජාතිවාදී දේශපාලන සංවිධාන ක්‍රියාකාරීන් සුළු පිරිසක් පමණක් සහභාගී වී සිටි බවත්, කාන්තාවන් සිටියේ ඉතා සුළු පිරිසක් බවත්, වාර්තා වෙයි.

වඳ සැත්කම්වලට ලක්ව ඇතැයි සැකපිට මුලින් චෝදනා කළ කාන්තාවන්ට පසුව දරු සම්පත් හිමි වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු කියති.

කෙසේ වෙතත්, දොස්තර සාෆිට තවමත් චෝදනා කරන ජාතිවාදී පිරිස් කුරුණෑගල රෝහලෙන් කළ මුලික පරීක්ෂණයක වාර්තාවක් දිගින් දිගට උපුටා දක්වන අතර එම පරීක්ෂණය කළේ සාෆි වෛද්‍යවරයාට මෙම චෝදනාව කළ කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාගේ ම මෙහෙය වීමෙනි. ඔහු ප්‍රදේශයේ ජාතිවාදී දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව ද ප්‍රසිද්ධ කරුණක් වී තිබේ.

 

ඡායාරුපය ලංකාදීපයෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *