ප්‍රමිතියක් නැති ආණ්ඩුව – අනුර සූරියබණ්ඩාර 

ශ්‍රී ලංකාවේ මුහුදේ දිගු කලක් කරක්ගසමින් සිටි පොහොර නැව හැරී ගොස් ඇති නමුත් ප්‍රශ්නය කෙළවර වී නැත. දැන් ආණ්ඩුවේ සූදානම පොහොර තොගයට ඩොලර් මිලියන 6.7ක් වන්දි ගෙවන්නටය. මෙකී වන්දිය ඩොලර් වලින් ගෙවන්නට ආණ්ඩුව සූදානම් වන්නේ ,  ඩොලර් මිලියන 200ක් නොමැතිව ආහාර ඇතුළු  අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් 1500ක් වරායේ හිරවී ඇතැයි පැවසෙන වටපිටාවකය. ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයකු කියන්නේ,  චීන පොහොර සඳහා ඩොලර් මිලියන 6.7ක් ගෙවන්නට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවට ඇතැයි තමා නොසිතන බවය.ඩොලර්    හිගය හේතුවෙන් රටේ ණයවාරික ගෙවීම අවදානම් සහගතව ඇති බව තවත් අතකින් කියැවෙි. කිරිපිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවන බව මුදල් ඇමැති කියන්නේ ඩොලර් හිගය නිසාය. මේ වන විට රට තුළ නැවතත් කිරිපිටි හිගයක් ඇතිවී තිබේ. වාහන ආනයනය නතර කර ඇත්තේද ඩොලර් හිගය නිසාය. වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන වෙළෙඳ ආයතන වැසී යන තත්ත්වයක් ඇතිවී ඇති සේම,  ඒ හා සම්බන්ධ රැකියාවල නියුතු විශාල පිරිසකට බලවත් අපහසුතාවකට පත්වන්නට ද සිදුව තිබේ.චීන සමාගමට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ප්‍රශ්නයක් නැතැයි කියන ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කිරිපිටි සඳහා ඩොලර් ගෙවීමේ ගැටලුවක් නැතැයි කියන්නේ නැත. එසේම ඔහු ඩොලර් හිගය හේතුවෙන් වරායේ හිරවී ඇති කන්ටේනර්වලට මුදල් ගෙවීමට නොහැකියාවක් ආණ්ඩුවට නැතැයි කියන්නේ ද නැත.

චීන සමාගමට ඩොලර් මිලියන 6.7 ක් ගෙවීමට ප්‍රශ්නයක් නැතැයි කියන ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කිරිපිටි සඳහා ඩොලර් ගෙවීමේ ගැටලුවක් නැතැයි කියන්නේ නැත. එසේම ඔහු ඩොලර් හිගය හේතුවෙන් වරායේ හිරවී ඇති කන්ටේනර්වලට මුදල් ගෙවීමට නොහැකියාවක් ආණ්ඩුවට නැතැයි කියන්නේ ද නැත.

චීන පොහොර තොගය මෙරටට ගොඩ නොබාන්නට හේතුව ඒවාහි අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීමය. ඉන් අදහස් වන්නේ ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනය සඳහා චීන සමාගම සමඟ ගිවිසුම්ගතව ණයවර ලිපි නිකුත් කර ජනතාව අසීරුතාවට පත්කරන වැඩපිළිවෙළකට දායක වී ඇත යන්නය.පොහොර ප්‍රශ්නය නිසා රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් චීනය සමඟ ඇතිකර ගත යුතු නැති බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියයි. රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් වළකා ගැනීම සඳහා ඩොලර් නැති රටක භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 6.7 ක් ගෙවීම ප්‍රමිතියක් ඇති ආණ්ඩුවකට කළ හැකි වන්නේ නැත.

ආණ්ඩුවේ පොහොර පිළිවෙතේ ප්‍රමිතියෙන් තොර බව කඩිමුඩි කාබනික පොහොර වැඩසටහන විසින් ද තහවුරු කෙරිණ. ⁣කාබනික පොහොර ලෙස හඳුන්වා තමන්ට ලබාදුන් ද්‍රව්‍ය වල ඇත්තේ කිරිමැටි , දහයියා අළු සහ ලී කැබලි ආදිය බවට ගොවියෝ මැසිවිලි නඟති. තවත් සමහර පොහොරක් මාළු කුණු ගඳින් යුතු බවත් ඒවා වගාවන්ට යෙදූවිට කුණු ගඳ නිසා කබරයන් පැමිණ ⁣ගොයම විනාශ කරන බවත් එම පොහොර යෙදූ මිරිස් ගස් බල්ලන් විසින් අනුභව කරන බවත් කියති. ගෑස් සේම පොහොර භාජන ද පුපුරන බවද ඒ අතර කියැවේ.ඉන් පැහැදිලි වන්නේ දෙන පොහොර ටිකවත් නිසි ප්‍රමිතියකින් යුතුව ලබා දෙන්නට ආණ්ඩුව අසමත් බවය.

ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් ද තත්වයේ වෙනසක් නැත. ආණ්ඩුව ප්‍රමිතියෙන් බාල ගෑස් බෙදාහැරීමේ වරදට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ අහිංසක ජනතාවටය.මේ දිනවල උසාවිය හමුවේ පැවසෙන කරුණු අනුව ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව පැහැදිලි වෙමින් තිබේ. දැනට මෙරටට ගෙන්වා ඇති ගෑස් නැවුවල ද ප්‍රමිතිය සම්බන්ධ ගැටලු පවතින බවද වැඩිදුරටත් කියැවේ. බරපතළ වරද වන්නේ ආණ්ඩුවේ ගෑස් සමාගමද ඒ වරදට දායකවී තිබීමයි.ගෑස් පිපිරුම් සම්බන්ධයෙන් ආණ්ඩුව මුලින් උත්සාහ කළේ ගෑස් ලිප් සහ උපාංග පිට වරද පටවා අත සෝදා ගන්නටය. එය අසාර්ථක වූ විට දැන් උත්සාහය ගෑස් සමාගම්වල ප්‍රධානීන්ට වරද පටවන්නටය. ඒ අතර ප්‍රමිතියෙන් යුතු ගෑස් උඳුන් , රෙගියුලේටර් ,ආදිය වෙළෙඳ පොළට සැපයිය යුතු බවට නියමයන් පැනවීමට ද සැරසෙන බවක් පළවේ. උඳුන් , රෙගියුලේටර් පිළිබඳ ප්‍රශ්නයක් මෙතෙක් රටේ තිබුණේ නැත. ගෑස් ආශ්‍රිත සියලු ප්‍රශ්න පැනනැඟුණේ ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කිරීමත් සමඟය.ඒ අනුව ගෑස් උඳුන් , රෙගියුලේටර් සම්බන්ධ කතාව ප්‍රශ්නයක් ඇතිකර විසඳුම් යෝජනා කිරීමකට සමානය. තවත් අතකින් ගත් කළ උඳුන් , රෙගියුලේටර් ආනයනය සඳහා ද ඩොලර් වැය කළ යුතුය.

ලිට්රෝ සමාගම යනු රජයේ ආයතනයකි. එහි සභාපති පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. ඔහු ජනාධිපතිවරයාගේ වියත් මඟෙහි අයකු බවද කියැවේ. ඒ අනුව ගෑස් සමාගමේ මුල් පුටුව වරදක් කර ඇත්නම් එහි වගකීමෙන් අදාළ පත්කිරීම සිදු කළ ජනාධිපතිවරයාට ගැලවීමේ හැකියාවක් නැත. එනම්, නිලධාරින් මත වරද පටවා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට නිදහස් විය නොහැකිය.

සදාචාරාත්මක ආණ්ඩුවක් නම් , පොහොර ප්‍රශ්නය හමුවේ  කෘෂිකර්ම ඇමැතිත් , පොහොර රාජ්‍ය ඇමැතිත් මේවනවිට ඉල්ලා අස්විය යුතුය. කාබනික පොහොර පිළිවෙත ආපසු හැරවීමෙන් නතර නොවී ජනාධිපතිවරයා ගොවි ජනතාවගෙනුත් පාරිභෝගික ජනතාවගෙනුත් සමාව ගත යුතුය. ඉල්ලා අස්වීම කෙසේ වෙතත්  මේ කිසිවකු වරද පිළිගැනීමක් හෝ අවම වශයෙන් කනගාටුව ප්‍රකාශ කිරීමක් හෝ කර නැත. ඒ වෙනුවට වෙළෙඳ ඇමැතිවරයා , එළවළු  මිල අඩු කළ හැකි මඟ කුමක්දැයි ජනතාවගෙනුත් බඩුමිල ගැන ප්‍රශ්න කරන මාධ්‍ය වලිනුත් විමසනු පෙනේ.බඩුමිල අඩුකරන්නට ජනතාව දන්නේ නම් ඒ සඳහා වෙළෙඳ ඇමැත්තකු අවශ්‍ය නැත.ජනතාවම එය කරගන්නවා ඇත.ජනතාව බලය දී ඇමැතිවරු පත් කරන්නේ තමන් වෙනුවෙන් තීරණ , ප්‍රතිපත්ති සකස් කරන්නටය. එය නිසි පරිදි කළ නොහැකි නම් කළ හැකි අයකුට බාර දී ඔවුන් ඉවත් විය යුතුය.

වෙළෙඳ ඇමැතිවරයා , එළවළු  මිල අඩු කළ හැකි මඟ කුමක්දැයි ජනතාවගෙනුත් බඩුමිල ගැන ප්‍රශ්න කරන මාධ්‍ය වලිනුත් විමසනු පෙනේ.බඩුමිල අඩුකරන්නට ජනතාව දන්නේ නම් ඒ සඳහා වෙළෙඳ ඇමැත්තකු අවශ්‍ය නැත.ජනතාවම එය කරගන්නවා ඇත.ජනතාව බලය දී ඇමැතිවරු පත් කරන්නේ තමන් වෙනුවෙන් තීරණ , ප්‍රතිපත්ති සකස් කරන්නටය. එය නිසි පරිදි කළ නොහැකි නම් කළ හැකි අයකුට බාර දී ඔවුන් ඉවත් විය යුතුය.

රටේ ජනතාව දහයක් ප්‍රශ්න හමුවේ අසරණ වී සිටින මොහොතක ජනාධිපතිවරයා සිංගප්පූරුවේ ය . මුදල් ඇමැතිවරයා අමෙරිකාවේය. ඒ මදිවාට පාර්ලිමේන්තුවද කාලය අවසන් කර  ඇත.ජනාධිපති ලේකම්වරයා ද රාජකාරියෙන් බැහැරව ඇතැයි කියති.

නිසි කලට නිසි පොහොර දිය නොහැකි කෘෂිකර්ම ඇමැති සහ පොහොර ඇමැතිගේ ප්‍රමිතිය ප්‍රශ්නකාරීය. කාබනික වගාවක් ගැන කියමින් සහ ඩොලර් හිගයක් ගැන කියමින් පිටරටින් රසායනික සහල් ආනයනය කරන වෙළෙඳ ඇමැතිවරයාගේ ප්‍රමිතිය ද ගැටලු සහගතය. එවැනි ගැටලු සහගත තැනැත්තන් වගකීම්වලට පත්කළ ජනාධිපතිවරයාගේ ප්‍රමිතිය ද ගැටලු සහගතය. අවසාන වශයෙන් පොහොර, ගෑස් , පමණක් නොව ආණ්ඩුවේ ප්‍රමිතියද ගැටලු සහගතය.

නිලධාරින් මත හෝ ජනතාව මත වරද පටවා ඔවුනට නිදහස් විය නොහැකි බව ජනතාව අවබෝධ කරගත යුතුය .

  අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *