IMF යන්න දැන් ප්‍රමාද වැඩියි ; ලජ්ජාවෙන් උනත් ණය ගෙවන්න බෑ කියන්න වෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමේ අවස්ථාව මේ වනවිට ඉක්ම ගොස් ඇති බවත්, ඇතැම් ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කිරීම හැර රජයට දැන් කළ හැකි වෙනත් යමක් නැති බවත්, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. රටක් වශයෙන් ලජ්ජා වීමට හේතුවක් වුව ද එය දැන් කරන්නට ම වන බව ඒ මහතා කියයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා ලෙස තමන් කීවේ පසුගිය වසරේ නොවැම්බරයේ බවත්, අඩු තරමේ මීට මාස අටකට දහයකට පෙර එම තීරණය ගත්තේ නම් මෙතරම් කරදර නොවී ප්‍රශ්නය විසඳා ගත හැකිවන බවත් කී ඒ මහතා දැන් ඒ අවස්ථාව අහිමි වී ඇති බව ප්‍රකාශ කළේය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජුලි මාසයේ කීවේ වසර අවසන් වන විට ඩොලර් මිලියන හතක සංචිත ගොඩනගන බව යැයි මතක් කළ මන්ත්‍රීවරයා දැන් ඩොලර් මිලියනයක්වත් අතේ නැති බව පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා වැඩි දුරටත් කීවේ දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගියත්, ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට අවස්ථාවක් නැති බවයි. කළ හැකි එකම දෙය ඇතැම් ණය ගෙවීම කළ නොහැකි බව ප්‍රකාශ කිරීම බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *