පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරයි ; නැවත රැස්වීම ජනවාරි 18 ට කල් දමයි

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත,

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කර තිබේ.

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ලබන ජනවාරි මස 18 වන දින පෙරවරු 10ට යළි ආරම්භ කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත.

වාර අවසාන කිරීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීම වන අතර මෙහිදි කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය.

තේරීම් කාරක සභා අහෝසි වන අතර පාර්ලිමේන්තුවට ඒ වනවිට ඉදිරිපත්ව ඇති යෝජනා ඇත්නම් ඒවා ද අහෝසි වෙයි.

නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභා නැවත පත්කළ යුතු අතර උසස් නිළ තල පිළිබඳ කාරක සභාව වාර අවසාන කර ඇති අවස්ථාවක වුවද අඛණ්ඩව ක්‍රියාත්මකය.

වාර අවසාන කිරීම අවසන් වී නැවත නව සැසිවාරය ආරම්භ වන විට එය ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට ද නියමිතව තිබේ. එහි දී රජයේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශනයක් කිරීම ද සම්ප්‍රදායකි.

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ඇතුළු කාරක සභාවල කටයුතු අක්‍රීය වන අතර නව සැසිවාරය ආරම්භ කිරීමත් සමඟ එම කාරක සභා නැවත පත්කළ යුතු වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *