|

විදුලි පද්ධතියේ දෝෂ දැන සිටියත් කිසිවක් කළේ නැහැ ; රාජ්‍ය ආයතනවල තත්ත්වය ඒකයි – මහාචාර්ය රොහාන් සමරජීව

 

රට පුරා විදුලිය බිඳ වැටීම ඉතාම අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එයට හේතු වූ බියගම මෙහෙයුම් මධ්‍යස්ථානයේ දෝෂය විදුලි බල මණ්ඩලයට පිටස්තරයකු වන තමා පවා දැන සිටි බවත්, 2016 -17 කාලයේ තමන් ඒ ගැන ලියා ඇති බවත්, විදුලි බලයට සම්බන්ධ අය එය හොඳින් ම දැන සිටියත් කිසිවක් නොකළ බවත්, රාජ්‍ය ආයතනයක් වීමේ ප්‍රශ්නය එයින් ම පෙනී යන බවත්, මහාචාර්ය රෝහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේය.

මෙම රාජ්‍ය ව්‍යවසාය නඩත්තුව සඳහා විශාල මුදලක් දිනපතා වැය කරන බව කී සමරජීව මහතා දැන් පවතින අර්බුදය හමුවේ තව දුරටත් මේවායින් සිදුවන පාඩු දරා සිටිය නොහැකි බවත්, මේවා ප්‍රතිසංස්කරණය වහා ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නේ ය.

1997 ට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ද තිබුණේ දැන් අනෙක් ආයතන තිබෙන තත්ත්වයේ බව පෙන්වා දුන් සමරජීව මහතා ටෙලිකොම් ක්ෂේත්‍රයේ කළ ප්‍රතිසංස්කරණ නිසා දැන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මෙන් ම ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් ද රජයට ආදායම් ලැබෙන බව ද , එදා දුරකතනයක් ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලයිස්තුවේ සිටිය යුතු වුවත්, දැන් දුරකථන ඇඟේ ගහන තත්ත්වයට පත්ව ඇති බවත්, පෙන්වා දුන්නේ ය.

මෙරට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේ ඇති සදිසි අවශ්‍යතාවය පිළිබඳව අඩ්වෝකාටා ආයතනය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහාචාර්ය සමරජීව මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආවත්, නැතත්, අපරටේ වියදම් කළමනාකරණය අප විසින් කරගත යුතු බවයි. ආදායම් වැඩි කර ගැනීමට ඉක්මන් ක්‍රම නැති තත්ත්වයක් තුළ අපට ඉක්මනින් ගත හැකි පියවරක් වන්නේ රජය සතු ආයතන ප්‍රතිසංස්කරණය කොට ඒවා නඩත්තුවට යන වියදමෙන් නිදහස් වීම බව සමරජීව මහතා වැඩි දුරටත් පැවසීය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *