කොස් මදුලත් රුපියල් 10ට විකිණිම සෞභාග්‍යයේ දැක්මද ? – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන


බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින් රටේ නිර්මාණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළේය.

එළවළු වර්ගයක් ග්‍රෑම් 250 ක් මිළදී ගන්නා වෙළෙද සංස්කෘතිය ද අවසන් කළ වත්මන් රජය මේ වන විට කරල් කිහිපයක්, අල කිහිපයක්, මදුළු කිහිපයක් මිලදී ගන්නා නව වෙළෙඳ සංස්කෘතියක් “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්තියෙන්  නිර්මාණය කර ඇතැයි ද විජයවර්ධන මහතා  සදහන් කළේය.

“මාළු, කරවල, මස් වර්ග ගැන කතා කරලා වැඩක් නෑ. ඉතිං කොහොමද ජනතාව ජීවත් වෙන්නේ. මැති ඇමතිවරුන්ට නම් මේ ගැන ගාණක්වත් නෑ. මොකද ඔවුන්ට අවශ්‍ය කෑම බීම ලැබෙනවා. පාන් ගෙඩිය රුපියල් 80 යි.

බත් පාර්සලයක් රුපියල් 200 යි. ප්ලේන්ටියක් රුපියල් 25 යි. බොහෝ ආපන ශාලාවල කිරි තේ විකුණන්නේ නෑ. අතීතයේදි අඩුවටම කන්න තිබුණ දෙයක් තමයි තෝසේ සහ වඩේ කියන්නේ. අද තෝසයක් රුපියල් 75 ක් වෙනවා. වඩයක් රුපියල් 80 ක් වෙනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති සමයේ මිනිස්සු තුන් වේලට කාලා ඇදලා හිටියා. මිනිස්සුන්ගේ අතේ මුදල් තිබුණා.අපේ කාලේකා, බී සතුටින් සිටි ජනතාව ඊටත් වඩා සෞභාග්‍යක් උදාකරගන්න ගොස් දැන්  අමාරුවේ වැටිලා සිටිනවා”යනුවෙන් ද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *