ආණ්ඩුවට සහය දෙන්න රනිල්ට පෙර සජිත් පෝලිම පනී !

පවතින විදේශ විනිමය අර්බුදයෙන් සහ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගන්නේ නම් ඒ සඳහා සහය දීමට තමන් සුදානම් බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.

අයවැය විවාදයේ අවසන් කතාව කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර ආයතනවල සහය ලබා ගන්නේ නම් එයට සහය දීමට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය සුදානම් බවයි.

අයවැය ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය කළ විමසුමක දී සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම කරුණ තහවුරු කළේ ය. රටේ ජනතාවට කන්න නැතිවන තත්ත්වයට විසඳුම් ලබාගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු බවත්, එහි දී පක්ෂ භේද නොතකා සහය දීමට සජබය සුදානම් බවත්, ඒ මහතා කීය.

සමගි ජන බලවේගය මෙම ස්ථාවරයට එළඹ ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ලබා ගැනීමටත්, ඒ මහතාට ඉහළ තනතුරක් ලබා දීමටත්, ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බවට ප්‍රවෘත්ති පළ වී තිබිය දී ය.

ඒ පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කීවේ ගිලෙන නැවකට ගොඩවෙන්න තරම් තමා මෝඩ නැති බවයි.

ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යන්නේ නම් රුපියල අවප්‍රමාණ කිරීම ඇතුළු ජනප්‍රිය නොවන කොන්දේසි ගණනාවකට එකඟ වීමට සිදුවනු ඇතැයි විශ්වාස කෙරෙයි. එහි දී විපක්ෂයේ සහාය රජයට අතිශයින් වැදගත් වෙයි.

සමගි ජන බලවේගය ප්‍රකාශ කරන්නේ එම සහාය ලබා දීමට ප්‍රධාන විපක්ෂය ලෙස තමන් සුදානම් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *