තවත් බලා නොඉඳ IMF යන්නැයි ආණ්ඩුව ඇතුළෙන් ම බලපෑම් ; තීරණය සඳුදා

ඉතාමත් බරපතළ තත්ත්වයට පත්ව ඇති විදේශ විනිමය අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා තවත් බලා නොසිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කරන ලෙස ආණ්ඩුව ඇතුළේ ප්‍රබල මතයක් පළ වී ඇති බවත්, ඒ පිළිබඳව සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීම තීරණාත්මක වනු ඇති බවත්, තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම අර්බුදය අපට ම විසඳාගත හැකි බව පසුගිය කාලයේ කී අය කළ දෙයක් නැති බවත්, ඔවුන් කී විදේශ ආයෝජන හෝ ණය හෝ ලැබී නැති බවත්, අර්බුදය තවත් උත්සන්න වීම පමණක් සිදු වී ඇති බවත්, ආණ්ඩුවේ ප්‍රබල පිරිසක් ප්‍රකාශ කරන බව කියති.

රටේ විදේශ සංචිත ප්‍රමාණය මේ වනවිට ඩොලර් මිලියන 1,500 ක් දක්වා පහත වැටී ඇති අතර එයින් ද වියදම් කළ හැකි මුදල වන්නේ මිලියන 1,100 ක් පමණක් බව ද වාර්තා වී ඇත. මෙය මෙරට ඉතිහාසයේ නොතිබූ තරම් අඩු මුදලකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑම පිළිබඳව තීන්දුවක් ගැනීම සඳහා සඳුදා පැවැත්වෙන කැබිනට් රැස්වීමට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ද කැඳවා ඇත.

පවතින විදේශ විනිමය අර්බුදයට විසඳුම්  ලබා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන ක්‍රියා කළ යුතු බව රටේ පිළිගත් ආර්ථික විද්‍යාඥයන් සියලු දෙනා ම පාහේ කීව ද මහා බැංකු අධිපති කබ්රාල් මහතා ඇතුළු පිරිසක් කියන්නේ ප්‍රශ්නය විසඳා ගැනීමට තමන්ට හැකි බවයි. එසේ වුව ද ඒ සඳහා නිශ්චිත වැඩ පිළිවෙළක් තවමත් ඉදිරිපත් කොට නැත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *