බුරුමයෙන් හාල් ගන්න වැඩිපුර ගෙව්වේ රජයකින් රජයකට ගනුදෙනුවක් නිසා – වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන

රජය මගින් මෙරටට බුරුමයෙන් සහල් ආනයනය කිරීමේ දී වැඩි මිලක් ගෙවීමට සිදුවුයේ එය රජයකින් රජයකට කළ ගනුදෙනුවක් නිසා බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියා ඇත්තේ පෞද්ගලික අංශය බඩු ගෙන්වන විට ඔවුන් විවිධ ක්‍රම මගින් මිල අඩු කර ගන්න නමුත් රජයකින් රජයකට මිල දී ගැනීමේ දී එසේ කළ නොහැකි බවයි.

පෞද්ගලික ආනයන කරුවකු සහල් ටොන් එකක් ඩොලර් 315 කට ගෙන්වා තිබිය දී සහල් ටොන් එකක් ඩොලර් 460 ක් වැනි ඉහළ මිලක් ගෙවා රජයෙන් ගෙන්වීම ගැන ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ හෙලිදරව්වකට පිළිතුරු දෙමින් වෙළෙඳ ඇමතිවරයා මේ බව පැවසීය.

හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ සියයට පහක් කැඩුණු සහල් පෞද්ගලික වෙළෙඳුන් ටොන් එක ඩොලර් 315 ට ගෙන්වා තිබිය දී ආණ්ඩුව ඩොලර් 460 කට ගෙන්වා ඇත්තේ සියයට විස්සක් කැඩුණු සහල් බවයි.

රජයකින් රජයකට ගෙන්වීමේ දී මිල අධික බව වෙළෙඳ ඇමතිවරයා ප්‍රකාශ කළ විට හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේ කරුණු එසේ නම් පෞද්ගලික අංශයෙන් සහල් ගෙන්වා මුදල් ඉතිරි කර නොගන්නේ ඇයි ද යනුවෙනි.

සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන්නේ රජයෙන් රජයකට ගනුදෙනු වඩා ලාභදායක බවයි. එලෙස ගනුදෙනු කරන්නේ වැඩි ලාභ සඳහා ය.

වෙළෙඳ ඇමතිතුමා කියන්නේ රජයකින් රජයකට ගනුදෙනු වියදම් අධික බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *