ජීවිතය කියන්නේ මරණයේ මාවතයි කියාදුන් රංබණ්ඩා සෙනවිරත්න නික්ම ගොස් විසි වසක් – සශිකලා මධුශානි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, මරදන්කල්ල නමැති හද්දා පිටිසර ගමේ ඉපිදි ඔහුගේ පියා වූයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු මෙන්ම ගුරුවරයෙකු ද වූ වන්නිහාමි ය. මව විජේකෝන් අප්පුහාමිලාගේ කිරිමැණිකා වූවාය. අව් වැසි සුළඟින් හා නොයෙකුත් ස්වභාවික ආපදාවන්ගෙන් බැටකන දුෂ්කරතාවයන් කවියේ ආත්මකොටගත් ඔහුගේ වේදනාව එහි රිද්මය විය. ඔහුගේ සාහිත්‍යමය කලාවට හා ගීත රචනයට පාදක වූයේ මේ කටුකත්වයයි. ඒ කටුකත්වය තුළ ඔහු දුටු සුන්දරත්වයයි.
රංබණ්ඩා සෙනවිරත්නයන් ලාංකීය ගීත සාහිත්‍ය තුළ සීමා සහිත ගීත ප්‍රමාණයක් රචනා කළ ද එදා මෙන්ම අදටත්, අද මෙන්ම හෙටටත් ප්‍රතිභාපූර්ණ ගීත ඒ අතර වේ.
‘දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුළේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ’
ඈ අම්මාය. ලෝකයට ජීවය දෙන්නී ඇයයි. ඔබේ, මගේ ජීවිතයේ නොමැකෙන තැනක ජීවත් වන්නී ඇයයි. ඈ පිළිබඳ, ඇගේ දාරක ස්නේහය පිළිබඳ රංබණ්ඩා සෙනවිරත්නයන් එදිනෙදා ඇසගැටෙන රූපකාර්ථ යොදාගනිමින් මේ කරන වියමන ප්‍රශස්ථය. බොහෝ සරල වූ ද, සුඛනම්‍ය වූ ද භාෂාව තුළ ඇත්තේ අනන්ත අපරිමාණ ආදරයයි. ස්නේහයයි. කැපකිරීමයි. එය රංබණ්ඩා සෙනවිරත්නයන්ටම අනන්‍ය වූ ශෛලියක් බව ඔහුගේ අනෙකුත් ගීත විමර්ශනයේදී පෙනී යන කරුණකි. මේ තුළ සේකරගේ ආභාෂයක් ද රැඳී ඇතුවාට සැක නැත.
‘ඉපයුවෙමි මම මුදල්, ඉපයුවෙමි කිතු යසස්
විය යාන වාහන මන්දිර එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත් සැනසුමක්
වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍යය
නොලබාම ඒ කිසිවක්’
(ප්‍රබුද්ධ)
එමෙන්ම රංබණ්ඩා සෙනවිරත්නයන්ගේ ගීතවල නුවරකලාවියේ භාෂා ව්‍යවහාරයන් දක්නට ලැබේ. ‘සුමනෝ’ ගීතයෙහි එන ”නිකින්න නිල්ල” ඊට නිදසුනකි. මෙය කිසිදු ප්‍රාදේශීය භාෂාවක දක්නට නොලැබෙන උපමාවකි. මේ ගීතවල ජනප්‍රියත්වයට ගුණදාස කපුගේ සුසංයෝගය ද හේතු වූ බව කිව යුතුමය. ඔහුගේ හඬ පෞරුෂයෙන් මේ පදමාලාවන්ට ලැබුණු ආලෝකය සුළුපටු නොවේ.
” වැවේ දියේ ඇති නිකින්න නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා”
‘පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ”
සුමනෝ ගීතය මගින් විප්පයෝගයේ කම්පනය පාඨක ශ්‍රාවක හදවත් තුළ මනාව ජනනය කිරීමට සමත් වේ. සරල බස් වහර තුළින් රචකයා ගෙන එන වේදනාව අතිශය ප්‍රබලය. එය රසිකයාගේ භාවයන් කම්පනය කිරීමට සමත්ය.
”උලලේනෝ” ගීතයත් ප්‍රේමයේ ද විප්පයෝගයේ ද ගැඹුරු කියවීමකි. ඉහිරුණු කිරි කොතලයට ඉකි බිඳලා ඵල නැති බවත් කාටත් නපුරු දා තනිකම් ඇතිවන බවත් මෙහි මතුපිටින් දක්නට ලැබුණ ද පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා ඇත්තේ මෙයින් කියැවෙන්නේ 1971 කැරැල්ලෙන් අහිමි වූ තරුණ ජීවිත පිළිබඳව බවයි.
‘ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ’
ළඳුනේ ගීතයට ලැබෙන්නේ ලාංකීය ගීත සාහිත්‍යයේ අග්‍රගන්‍ය තැනකි. ඉහත සඳහන් ගීත ඛණ්ඩයෙන් මිනිසුන් සතු මානුෂිකත්වය, පරාර්ථකාමීත්වය හා අනෙකා පිළිබඳව ඇති හැඟීම මනාව ප්‍රශ්න කෙරේ. සාමාන්‍ය පොදු සමාජයේ දක්නට ලැබෙන සිද්ධීන් මගින් අනෙකාගේ හදවත සංයමයෙන්, ප්‍රේමයෙන් හා මනුෂ්‍යත්වයෙන් දයාර්ද්‍ර කිරීමට රංබණ්ඩා සෙනවිරත්නයන් දක්වන උපන් කෞෂල්‍යය ඉහත කී ගීතයෙන් මනාව උද්දීපනය වේ.
”පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ’
සමාජයේ සැබෑව දෙස උත්ප්‍රාසයෙන් බැලීමේ ඔහුගේ හැකියාව නීතීඥ වෘත්තිය තුළ ද මාධ්‍ය ජීවිතය තුළ මෙන්ම ක්‍රියාකාරී දේශපාලනය තුළ ද දක්නට ලැබිණි. ඉහත පද ඒ සඳහා උදාහරණයකි.
ඇත්තෙන්ම මරණයෙන් වසර විස්සකුත් ඉක්මවූ පසුත් ඔහු නමින් ලියන්නට ඇති දෑ බොහෝ ය. සුභාවිත ගීත මෙන්ම ‘දුකට කියන කවි’ හා ‘නිහඬ නිම්නය’ කෘතීන් ද A New Political Concept for Sri Lanka කෘතිය ද ඔහුගේ හැකියාව, දැනුම විවිධ ක්ෂේත්‍රවල පැතිර ගිය බවට සාක්ෂි ය. ඔහු සැබැවින්ම ක්ෂුද්‍ර දැනුම් බලාගාරයකි.
අනුරාධපුරයේ, මිහින්තලේ, මරදන්කල්ල ගමේ සිට කොළඹට පැමිණ අධි නීතීඥවරයෙකු වුව ද ඔහු කිසි දිනෙක රෙජිනෝල්ඩ් බර්නාඩ් කෙනෙකු වීමට උත්සාහ කළේ නැත. ඔහු හැමදාමත් හද්දා පිටිසර රංබණ්ඩා සෙනවිරත්න ම විය. ඔහු අදටත් ලාංකීය සාහිත්‍යය තුළ නොමැකෙන සදානුස්මරණීය චරිතයකි, හෙටටත් එසේම වනු ඇත.