රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි

කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (5)පැවසීය.

කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් මගින් සංකීර්ණ වී ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කොරෝනා වසංගතය නිසා සමස්ත ගෝලීය ආර්ථික බලපෑම් අඛණ්ඩව ඉහළ යනු ඇති බව කී වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කළ ඇස්තමේන්තුවට අනුව බොහෝ රටවල ඒක පුද්ගල ආදායම වසර කිහිපයක් තිස්සේ වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා පහළින් පවතිනු ඇති බව ද කීය.

ණය ගැනීම් සඳහා අඩු ඉඩක් ලැබීම, ණය මට්ටම් ඉහළ යාම, ආදායම තියුනු ලෙස අඩු වීම සහ මුදල් අව ප්‍රමාණය වීම මෙන්ම එක්සත් ජනපද පොලී අනුපාත ඉහල යාම ආර්ථිකයන්හි ණය බරට තව දුරටත් පීඩනයක් එකතු කරනු ඇති බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. පරිසරය,ආර්ථිකය,වසංගතය ”යන තේමාවෙන් අබුඩාබි නුවර දී පැවැති මෙවර සමුළුවෙි දී ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *