ඉන්දියාවෙන් බැසිල්ට දෝස්මුර ! සාකච්ඡා ගැන නිල නිවේදනයක්වත් නැහැ

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගන්නා ගිවිසුම් සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකා රජය දෙන පොරොන්දු සම්බන්ධයෙන් තම රටට කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක් පවතින බවත්, ශ්‍රී ලංකා රජය දිගින් දිගට විශ්වාසය කඩකොට ඇති බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට ඉන්දීය බලධාරීන් පවසා ඇති බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

තම සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා බලාපොරොත්තු වුව ද, ඉන්දියානු බලධාරීන් ඒ සඳහා අවස්ථාව සලසා නොතිබිණි. ඔහුට අවස්ථාව ලබා දී තිබුණේ ඉන්දීය විදේශ ඇමති එස් ජයිශන්කර් සහ මුදල් ඇමති නිර්මලා සීතාරාමන් හමුවීමට පමණකි.

මෙබඳු හමුවකින් පසුව, ඇතිකරගන්නා  එකඟතා පිලිබඳව දෙපාර්ශවය ඒකාබද්ධ නිවේදනයක් හෝ එක් එක් පාර්ශවය වෙන වෙන ම හෝ නිවේදන නිකුත් කිරීම සම්ප්‍රදායක් වුව ද , මෙම සංචාරය පිළිබඳව ඉන්දියානු පාර්ශවය කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නැත.

මෙම ගමනේ දී ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1900 ක් ණය ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා රජයට සම්බන්ධ ප්‍රකාශකයින් කියන නමුත් ඉන්දියානු පාර්ශවය ඒ ගැන කිසිවක් කියා නැත.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගිවිසුම අලුත් නොකිරීම, සාම්පුර් විදුලි බලාගාරය පිළිබඳව ඉන්දියාවට මුලින් දී තිබු පොරොන්දු ඉටු නොකිරීම ආදී ප්‍රශ්න ගැන ද මෙහි දී ඉන්දියානු පාර්ශවය කරුණු දක්වා තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියන්නේ ක්ෂේත්‍ර හතරක් යටතේ ණය ලබාදීමට ඉන්දියානු පාර්ශවය එකඟ වූ බව යි. එම ක්ෂේත්‍ර වන්නේ

1. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ආහාර ලබාදීම සහ එම මිල දී ගැනීම් සඳහා ණය ලබා දීම

2. ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම සහ එම මිල දී ගැනීම් සඳහා ණය සැපයීම

3 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අලුත්වැඩියා කිරීම, විදුලිබල ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා ඉන්දියානු ආයෝජන ලබා දීම

4 ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීම සඳහා ණය ලබාදීම

ආදිය යි.

මේ අතර ශ්‍රී ලංකාව සතු විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.2 ක් දක්වා පහත වැටී ඇති බව අලුත් ම වාර්තා කියයි. මෙය ඉතිහාසයේ පැවති පහළ ම අගය බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *