ජනාධිපති බලයත්, තුනෙන් දෙකත් ජනතාව අපට දුන්නේ මාෆියා ගැන කතා කරමින් ඉන්න නොවෙයි – රාජ්‍ය ඇමති දුමින්ද දිශානායක

ජනාධිපතිගේ අසීමිත බලයත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයත්, ජනතාව මේ ආණ්ඩුවට ලබා දී තිබෙන්නේ එක එක මාෆියා ගැන කතා කරමින් සිටින්නට නොව ඒවා වෙනස් කරන්නට බව පුනර්ජනනීය බලෂක්ෂි ඇමති දුමින්ද දිශානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. වරද තිබෙන්නේ පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් හෝ යම් නීති රීති සම්බන්ධයෙන් හෝ වියහැකි වුවත් ඒ සියල්ල වෙනස් කරගෙන කටයුතු කළ යුතු බවත්, විදුලිබල ඇමතිතුමා, තමා මෙන් ම අමාත්‍යංශයේ සහ අදාළ ආයතනවල නිලධාරීන් ද එයට කැප වී සිටින බවත් ඇමතිවරයා කී ය.

2021 අයවැය විවාදයේ විදුලිබල සහ බල ශක්ති අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්බන්ධ විවාදයට අද සම්බන්ධ වෙමින් දිශානායක මහතා වැඩි දුරටත් කීවේ සමහරු හැම දෙයකට ම ටෙන්ඩර් කිරීම ගැන කතා කළ ද, ඇතැම් විට ටෙන්ඩර් සඳහා වසර ගණන් කල් ගත කරනවා වෙනුවට මේසයක් වටා වාඩි වී ගණන් බලා ප්‍රශ්න විසඳාගත හැකිවන බවත්, එය රොකට් විද්‍යාවක් නොවන බවත් ය.

රටට ගැළපෙන බල ශක්ති ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ද ඒ සඳහා එකට වැඩ කිරීමට එක්වන ලෙස ද ඇමතිවරයා සියලු පක්ෂවලින් ඉල්ලා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *