ශ්‍රී ලංකන් ගුවන් සේවයට කණකොකා හැඬුවේ යෝෂිතට තාත්තා දැකීමේ ආශාව හටගත් දා ය. – මහාචාර්ය රොහාන් සමරජීව (2වැනි කොටස)

මේ ලිපියේ 1 වෙනි කොටසේ දැක් වූ සන්දර්භය ඇතුළේ අපේ රටේ ගුවන් සේවාවල තත්ත්වය කුමක් ද යන්න දැන් අපි විමසමු. දැනටමත් අපේ රටට ගුවන් සේවා සෑහෙන ප්‍රමාණයක් පැමිණේ. නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නැවත රජයට ගත් පසු අපිට තිබුණු ගුවන් සේවා පංගුව අඩු වී ඇත. ඒකෙන් ම පේනවා මේක ඉතා තරගකාරි ක්ෂේත්‍රයක් බව. මගේ ගණන් බැලීමට අනුව වොෂින්ටන් ඩී සී කියන ඇමෙකාවේ අග නගරට එන ගුවන් සේවා සංඛ්‍යවට වඩා ගුවන් සේවා සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණේ. ඒකෙන් කියන්නේ ලංකාවේ විවිධත්වයක් හා තෝරා ගැනීමේ පුළුවන්කමක් දැනටමත් තිබෙන බව ය. එසේ වී තිබෙන්නේ වැඩි දියුණු කරන්නට උත්සාහ දරන්නේ ද නැති කුඩා ගුවන් තොටුපලක් තබාගෙන ය. එතකොට අපිට අසන්නට පුළුවන් අර කී අවශ්‍යතාවයන් මේ තුළින් ඉටුවෙනවා නේ ද යන්න. වෙනත් ආකාරයට කියන්නේ නම් තව දුරටත් ඒ පාරේම ගියොත් ඒ අවශ්‍යතා ඉටුකරගන්නට හැකිවෙනවා තියෙනවා නේ ද යන ප්‍රශ්නය අපිට නැගිය හැක. එහි දි උත්තරය වන්නේ ඔබලාගේ අවශ්‍යතාවය ඉටුකරගන්නට තමන්ගේ ම ගුවන් සේවයක් අවශ්‍ය නොවන බව ය.

අපේ ගුවන් සේවයක් තබා ගැනීමෙන් අපිට හානියක් වූ බව මේ අනුව අපිට පැවසිය හැක. එහි ඉතා ලක්ෂණ රූපයක් තිබේ. 2005 සිට 2015 දක්වා ඒ අයගේ අභ්‍යන්තර වාර්තා වලින් දත්ත ලබාගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය කොපමණ ලාභ හා පාඩු ලැබුවා ද යන්න පැහැදිළි කරන වගුවක් ඇත. ඒ වගුවේ බිංදුවෙන් පහළ කොටස අලාභ හා බිංදුවෙන් ඉහළ කොටස ලාභ ලෙස දක්වා ඇත. ඒ අනුව 2005 සිට 2008 වනතුරු විශාල ලාභ නොව සුළු ලාභ ලබා, 2008 එමිරේට් එක යටතේ ම ටිකක් ලොකු ලාභයක් ලබා ඇත. 2008 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ආයතනය එමිරේට්ස් වලින් නැවත ලබා ගනී. එසේ ලබාගත් ගමන් ම ඉතා වේගයෙන් එම ලාභය අඩුවෙන්නට පටන් ගනී. ඉන්පසුව නැවත 2011 පමණ වනවිට යම් පමණකට හිස ඔසවා තිබේ. ඊට පසු මේක පතුලක් නොපෙනෙන අගාධයකට ගියේ ය. අවසාන වසරේ එනම් 2014 රුපියල් බිලියන 32ක පාඩුවක් ලබා ඇත. මේ බිලියන කියන ගණන මනසට ග්‍රහණය කරගන්නට නොහැකි නිසා එය සංසන්දනය කළහොත් එක් බිලියනයක් යනු රුපියල් කෝටි සියයකි.
අපේ ප්‍රධාන සමාජ ආරක්ෂණ ක්‍රමය වන සමෘධි නැත්නම් දිවි නැගුම කියලා බැසිල් ගහගත්ත එකේ සිටින පවුල් 15 ලක්ෂයක් පමණ එයින් ආධාර ලබයි. ඒකට ද 2015 දී උපරිම වශයෙන් වැයකර තිබෙන්නේ බිලියන 15 කි. නමුත් මේ හ්‍රි ලංකන් කියන කුණු ගොඩට වැයකර ඇති බිලියන 32 සාධාරණය කරන්නෙක් කෙසේ ද? සමෘද්ධිය පිළිබඳව ප්‍රශ්න ඇතත් එය නම්බුකාර සමාජයක පහළ ආදායම් ඇති අය රෑක ගැනීමේ ආරක්ෂක දැළකි. ඒ සමාජ ආරක්ෂණ දැළට, අපි රටක් හැටියට වියදම් කරන්නේ බිලියන 15ක් නම් මේ එක ගුවන් සේවයකට මෙතරම් මුදලක් වැය කෙරුවේ මන් ද? මේ ගුවන් සේවය ප්‍රයෝජනයට ගන්නේ සියඹලාණ්ඩුවේ හෝ එවැනි පලාත්වල සිටින දුප්පතුන් නොවේ. එහෙයින් එම ගුවන්සේවය සඳහා රුපියක් බිලියන 32ක් පාඩු ලබමින් පවත්වාගෙන යෑම මොන පැත්තෙන් බැලුවත් සාධාරණ වන්නේ නැත.
මේකට උත්තරයක් ලෙස අපේ රටට අපේම වූ ගුවන් සේවයක අවශ්‍යතතාවයක් ඇති බව යමෙකුට කියන්නට පුළුවන. අපි අහන්නේ මේ අවශ්‍යතාවය කුමක් ද යන්න ය. එවිට සංචාරක ව්‍යාපාරය සඳහා එවැන්නක් අවශ්‍ය බව කියන්නට ඉඩ තිබේ. අපේ ගෞරවය, අපේ රටේ අභිමානය වෙනුවෙන් අපේ ම වූ ගුවන් සේවයක් තිබිය යුතු බව ඔවුන් කියනවා නොඅනුමාන ය. උදාහරණයක් ලෙස රෝමයට යන එක අවලංගු කරන්නට යනවිට කාඩිනල්තුමත් මැදිහත් වී ඒක අවලංගු නොකරන ලෙස ඉල්ලා සිටි බව මාධ්‍යයේ පලවිය. මෙවැනි දේ වලින් සිදුවන්නේ පාඩු පිට පාඩු ලැබීම ය. දැන් විදුලිබල මණ්ඩලයේ පාඩුව බදු ගෙවන්නාගෙන් පියවූවත්, නරක දෙයක් වූවාට එය එතරම්ම නරක දෙයක් නොවන්නේ එය පාවිච්චි කරන්නේ අපේම මිනිසුන් ය. එපමණක් නොව අපේ සමස්ථ කුටුම්බ සංඛ්‍යාවෙන් නැතිබැරි අය ද ඇතුලත්ව 90%කට වඩා විදුලිය පරිභෝජනය කරති. මේක ද ආර්ථික විද්‍යාව පැත්තෙන් ගත් කළ වැරදි නමුත් දේශපාලන විද්‍යාව පැත්තෙන් ගත් කල සාධාරණය කළ හැක. නමුත් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට කරන වැය කිරීම නම් එහෙම සාධාරණය කළ නොහැක. මක්නිසා ද යත් මේකේ වැඩිපුර යන්නේ විදේශිකයින් ය. ඒ අය වෙනුවෙන් අපි පාඩු ලබන්නේ කුමකට ද? ඒ අතින් ඒ අය ලාභ ලබන අතර ලංකාව ඒවාට වන්දි ගෙවිය යුතුව තිබේ. මේ කෙහෙල්මල නොතිබුණා නම් 2015 දී සමෘධි ලාභින්ට දෙන මුදල දෙගුණයක් කළහැකි වන්නේ ය. එසේ දෙගුණයක් කළත් බිලියන 2ක් පමණ ඉතුරු කරගැණිමට හැකියාව තිබුණි.
අන්තිම වශයෙන් ඔය ගුවන්සේවාව තබා ගැණිමට තව කරුණු දෙකක් කියති. සංචාරක හෝටල් සංගමය හා ඒ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට අනුව මේ සංචාරකයෝ එන්නේ යුරෝපයෙනි. අපි කියන්නේ යුරෝපයෙන් නොව කොහෙන් සංචාරකයෝ ආවත් ඔවුන් මුදල් ගෙවාගෙන ආ යුතු ය. ඒ අය පැමිණිමෙන්හෝටල් හිමියන්ගේ ලාභය විශාල වන්නේ නම් අපි මෙපමණ ආසන සංඛ්‍යාවක් තමන්ගේ හෝලටලයට එන සංචාරකයෝ සඳහා ගන්නා බවට ඒ අය පොරොන්දු වියයුතු ය. එහෙම නැත්නම් ඒ අයගේ හෝටල් පුරවන්නට රටේ ජනතාව බදුගෙවන්නේ මොන අමාරුවට ද? අනික් අතට මාල දිවයින් සංචාරක කර්මාන්තය අපේ සංචාරක කර්මාන්තයට වඩා දියුණු ය. එපමණක් නොව අපිට වඩා ලාභයක් ද ඔවුහූ ලබති. ඒම ලාභය ඔවුන් ලබන්නේ තමන්ගේම යැයි කියන ගුවන්සේවයක් ඇතිව නොවේ. එහෙම නම් ඒ අය තමන්ගේම ගුවන් සේවයක් නැතිව ඒ අයගේ සංචාරක ව්‍යාපාරය ඔය තරම් සාර්ථක ලෙස ගෙන යන්නේ කෙසේ ද?
අවසාන වශයෙන් ඔවුන්ට තම අදහස සාධාරණය කරන්නට ඉතුරු වන්නේ එකම එක් තර්කයක් පමණි. ඒක තමයි ඔය ජාතික අභිමාණය. මට අසන්නට තිබෙන්නේ ඔය ජාතික අභිමානය බිලියන 32ක් වටිනවා ද යන්න ය. ජාතික අභිමානයට බිලියන් 32ක් මක්කට ද? අපි මේක කළේ නැතිනම් අපේ කොඩිය පිට රටට යන්නේ නැති බව මෙහිදි කෙනෙකුට කිව හැක. ඒකට සරළ පිළිතුරක් තිබේ. කොළඹ තමන්ගේ කේන්ද්‍රයක් කරගන්නා ලෙස යම්කිසි ගුවන් සේවයකින් අපිට ඉල්ලා සිටිය හැක. තව ද ඒ අයට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් හෝ එවැනි ගණන් ගෙවන බවට පොරොන්දු වී අපේ කොඩිය ගසාගෙන යන්නට කියන්නට පුළුවන. ඊට අමතරව ලංකාවට යන එන ගුවන් යානාවල සිංහළ භාෂාව ද යොදා ගන්නා ලෙසට ගිවිසගත හැක. එතකොට අපේ අභිමානය ෂේප් කරගත හැක. ඕක අවශ්‍ය දෙයක් නොවන නමුත් එහෙමත් කරගත හැක.
මම යන එන ඔය ගුවන් සේවාවල සිංහළ ගුවන් සේවිකාවෝ සිටිති. ඒවායේ සිංහළ චිත්‍රපටි ප්‍රදර්ශනය කෙරේ. වැසිකිලියට ගිහාම එක එක දේ දමන්නට එපා යැයි සඳහන් දැන්වීම් පවා එහි ද සිංහලෙන් අලවා ඇත. අපේ මිනිසුන්ම ද එවැනි ද්‍රව්‍ය දමන්නේ යන්න එතන දි මට සිතේ. සිංහලෙන් එසේ තිබිය දී ද මේ ජාතික අභිමාණයක් වැනි අනම් මනම් දේ කථාකරන්නේ කිසිම තේරුමක් නැතිව ය.
අවසානයට කථා කළ යුතු දේ තුළ කරුණු දෙකක් තිබේ. එයින් එකක් වන, 2008වන විට ශ්‍රි ලංකන් ගුවන් සේවයට කුමක් ද උනේ යන කේන්ද්‍රීය ප්‍රශ්නය ගනිමු. ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් 60%ක් සහ පරිපාලන අයිතිය අපි එමිරේට්ස් සමාගමට අලෙවි කළෙමු. මතක හැටියට ඇමෙරිකානු ඩොලර් මිලියන 80 වැනි මුදලකටයි එය අළෙවි කළේ. ඒ කියන්නේ ඒ අය ද යම් ආයෝජනයක් කර ලාභ ප්‍රමාණයෙන් ලංකා ආණ්ඩුවට අයිති කොටස ගෙව්වේ ය. ඒ වගේම පාඩු ලැබුවොත් ලංකා ආණ්ඩුව පාඩුවෙන් කොටසක් ගෙවිය යුතු ද විය. ඒ කාලයේ තමයි කටුනායක ගුවන් තොටුපල එල්ටීටීඊ ප්‍රහාරයට ලක්වන්නේ. එහි දී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්ව තිබූ ගුවන් යානාවලින් භාගයක් විනාශ කළේ ය. අපිට මේ පාඩුව පියවා ගන්න සල්ලි ටිකක් දෙන ලෙස ඔවුන් ශ්‍රි ලංකා ආණ්ඩුවට ඇවිටිලි කළේ නැත. ඒ අය අලුත් ගුවන් යානා ගත්තේ රක්ෂණ මුදල් වලිනි. එහෙමත් කර ඒ අය ලාභ ලැබී ය. ඒ ආකාරයට මේ ගුවන් සේවය කාර්යක්ෂමව කරගෙන යන විට 2008 දී යෝෂිත රාජපක්ෂ මහත්මයා සැන්ඩ්‍රස් එකට ගියේ ය. සැන්ඩ්‍රස් එකේ මොකද්දෝ උත්සවයක සිටින විට කුමක් හෝ දෙයකට එයාගේ තාත්තාව දැකගැනීමේ ආශාවක් යෝෂිත රාජපක්ෂට ඇති විය. ශ්‍රි ලංකන් ගුවන් සේවයට කණ කොකා හඬන්නේ එයින් පසුව ය. ඒ ගැන විස්තරය 3වැනි කොටසින් සාකච්ඡා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *