ඔපරේෂන් ගංවතුර ගැන නිරීක්ෂණ කීපයක් – අජිත් පැරකුම් ජයසිංහ

 dogs+in+floods
මේගොල්ලන් ගැන හිතපු මිනිස්සුත් හිටියා

2016 මැයි ගංවතුර හා නායයාමෙන් විපතට පත් අනාථයන්ට පිහිට වීමේ මෙහෙයුම තවමත් ඉදිරියට යනවා. එය ලංකාවේ මිනිසුන් තමන් අනුන්ගේ දුක වෙනුවෙන් උණු වන හිත හොඳ මිනිසුන් බව පෙන්වන්නට ලොකු උත්සාහයක් ගත් අවස්ථාවක්.

හොඳ මිනිසුන් ලෙස පෙනී ඉන්නට උත්සාහ කරන එක වුණත් නරක නැහැනේ. එතකොට සමාජය සමස්තයක් ලෙස අංශු මාත්‍රයකින් හරි ඉදිරියට යනවා.

විවිධ අරමුණු වෙනුවෙන් ජන සමූහයන් ගොඩනගාගෙන සිටින බොහෝ දෙනෙක් ආධාර එකතු කරන්න, බෙදා දෙන්න, උදව් කරන්න මහන්සි වෙනවා. තම තමන්ට පුළු පුළුවන් ආකාරයෙන් බොහෝ අය බොහෝ දේ කරනවා.

මේ අතරෙ දේශපාලන, ව්‍යාපාරික හා මාධ්‍ය මුද්‍රා තබා ගැනීමේ උත්සාහයකුත් දකින්න ලැබෙනවා. ඒත්, ඉතින් වැඩක් කරලා ලකුණු දාගත්තත් මොක ද?

හැබැයි ඉතින් වටින්නේ කිසිදු අපේක්ෂාවකින් තොරව නිහඬව වැඩ කරපු මිනිසුන්ගේ මිනිස්කමයි. වැදගත් වන්නේ තමන්ගේ කාර්යභාරය කිරීම මිස එය කළ බව කියා කෑ ගැසීම නෙමෙයි.

මේක ලංකාවේ ආරක්ෂක හමුදාවල නව මානයක් මතු වුණ අවස්ථාවක්. මෙය ආරක්ෂක හමුදා වෘත්තික මට්ටමේ සැබෑ මානුෂික මුදාගැනීමේ මෙහෙයුමකට උර දුන් අවස්ථාවක්. ඒ වගේ ම ඔවුන් රජය නියෝජනය කරමින් ඉතා නිහඬව හා වෘත්තික ස්වරූපයෙන් එම කාර්යයට මැදිහත් වුණා. මම හිතන්නේ මේ දේ උතුරේ වුණත් ඔවුන් වර්තමානයේදී මේ විදියට ම වැඩ කරයි.

රජයත් මෙයින් ලකුණු දාගන්නට සංදර්ශනාත්මකව කටයුතු කරනවාට වඩා මෙහෙයුම විධිමත් කරන්නට උත්සාහ කළා. මෝස්තරේට ආණ්ඩුව කෝ අපි තමයි ඔක්කොම කරන්නෙ කියලා කෑ ගහන කට්ටිය කෑගැහුවත්, රජය කියන්නේ දේශපාලකයන් විතරක් නෙමෙයි. ඇමතිවරු, නිලධාරි, රජයේ මාධ්‍ය හමුදා සෙබළු, වෛද්‍යවරු, හෙදියෝ, රියදුරෝ, කම්කරුවෝ ආදී පුළුල් යාන්ත්‍රණයක් රජයට අයිතියි. රජය මෙතනදී කරන මැදිහත්වීම තමයි ප්‍රධාන. අනෙක් අයට පුළුවන් ඒකට උදව් කරන එකයි. රජයට තමයි මෙහිදී වැඩි වගකීමක් තියෙන්නේ. කවුරුවත් ඒකට ආදේශ වෙන්න උත්සාහ කරන්නට ඕනැ නැහැ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් කළ කාර්යය වැදගත් වන්නේ ජනතාවගේ හෘදය සාක්ෂිය අවදි කරන්නට එය දැක්වූ දායකත්වය නිසායි. මානුෂීය ආධාර සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අව්‍යාජ ලෙස මැදිහත්ව කටයුතු කරනු දක්නට ලැබෙනවා. ඒ වුණාට වැඩි වැඩ කොටසක් කළේ ඒ පිළිබඳ ෆේස්බුක්හි සටහන් නො තැබූ මිනිසුන් විසින් ය කියන එක සමාජ මාධ්‍යවල ඉන්න අපි නිහතමානීව පිළිගන්නවා නම් හොඳයි. ඒ නිසා ටිකක් කල්පනා කරලා ඕනෑවට වඩා ෂෝ එක දාන එක නවත්තනවා නම් හොඳයි.

සමහරු වැඩ කරන ගමන් බැබළෙන්නත් උත්සාහ කළා. ඒකෙ වරදක් නැහැ. වැඩක් කරන ගමන් නේ.

මේ ගැන ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර සහෝදරයා දක්වා තිබෙන අදහස ඉතා වැදගත් ය කියා මා සිතුවේ, ඇතැම් වාමාංශිකයන් 2009 මැයි සිහිපත් කරමින් ආන්තික අදහසක් ඉදිරිපත් කළ නිසායි. රටේ ම විපක්ෂ නායකකමට පත් කර ගත්තත්, යාපනේ අර්ධද්වීප මානසිකත්වයෙන් එළියට එන්නට බැරි ආර්. සම්බන්ධන් අයිති වෙන්නෙත් මේ අයගේ වර්ගයට ම තමයි. සකල දේශවාසී දෙමළ, සිංහල, ජාතිවාදීන් එක්සත්ව, එක් සිත්ව මොකුත් නො වුණා වගේ හැසිරෙන හැටි දැක්කා ම විලි ලැජ්ජාවෙ සන්තෝසයි අප්පා.

පහත පළ වන්නේ ප්‍රියාන්ගේ අදහස අන්එඩිටඩ්:

“2009 වසරේ වෙසක් මාසයේ උතුරේ ජනයා යුද්ධයේ ඊනියා ජයග්‍රහණයෙන් ජීවිත,උන්හිටිතැන්,අහිමිව පීඩාවට පත්වෙද්දී හඬක් නොනැගූ මාධ්‍ය 2016 වසරේ දකුණේ ගංවතුරින්,නායයාමෙන් පීඩාවට පත්වන මිනිසුන් ගැන හඬ නැඟීම සමහර සංවේදී කවියන්ට,බ්ලොග්කරුවන්ට,ෆේස්බුක් පොරවල්ට ප්‍රශ්නයකි.මට නම් එකී ප්‍රශ්නයම උත්තරයකි.සිදුවූයේ වාර්ගික යුද්ධයක් යයි අර්ථ ගන්වා ගැනීමට මොළය ඇති මේ මහත්තුරුන්ට වාර්ගික යුද්ධයකදී යුද්ධ කරන්නේ ජනවර්ග දෙකක් නිසා ඊනියා ජයග්‍රාහී ජනවර්ගය,පරාජිතයින්ගේ පීඩාව කෙරෙහි සංවේදි වෙන්නේ නැති බව වටහාගන්නට අමාරුය.ඊනියා ජයග්‍රාහී ජනවර්ගයේ දෘෂ්ටිවාදයෙන් පෝෂිත ජනමාධ්‍ය යුද්ධයේ ජයග්‍රහණය උත්කර්ෂයට නංවන තරමට පරාජිතයාගේ සෝ සුසුම කෙරෙහි සංවේදි වන්නේ නැති බව පිළිගන්නට අමාරුය.ගං වතුර හෝ නායයාම් වලට වාර්ගික බේදයක් නැත.ඊනියා ජයග්‍රාහකයෙක් හෝ නැත.මේ මොහොතේ පීඩාවට පත්වූ මිනිසුන්ට ශ්‍රමයෙන්,අත ඇති සොච්චමකින් හෝ අත නොදී බුකියේ වීරයින්වී අද නඟන හඬ එදා තිබුණේ නෑයි පොර ටෝක් දීම අතීත සිංහල රට මාරයි.”කිය කියා මේ මොහොතේ නිකමුන්වී උඩ බලාගෙන සිටින සිංහල ජාතිවාදී/ගෝත්‍රිකවාදීන්ගේ මානසිකත්වයේ අනෙක් පස නෙවෙයිද?

ජනමාධ්‍ය විසින් මේ විපත විකුණාගෙන කන බව මේ මහත්තුරුන්ගේ තවත් ජනප්‍රිය මතයකි.ඒක ඇත්තය.ඒත් ඒක එහෙම වෙන්නේජනමාධ්‍යට ආවේණික ප්‍රශ්නයක්නිසා නොවන බව මේ මහත්තුරුන්ට තේරුම් ගැනීම අසීරුය.ධනවාදය යැපෙන්නේ ව්‍යසන මතය.එය තේරුම් ගැනීමට අවශ්‍යනම් නයෝමි ක්ලෙයින්ගේව්‍යසන මත යැපෙන ධනවාදයනම් කුඩා ලිපිය වුවද ප්‍රමාණවත්ය.ධනපති ජනමාධ්‍ය ක්‍රියාකරන්නේද මේ ව්‍යුහයේ කොටස්කාරයින් ලෙස විනා එයින් ස්වායත්ත වූ ශුද්ධ ගැලවුම්කරුවාලෙස නොවේ.එසේ ක්‍රියා කිරීමට හැකියාවක් ඊට නැත.ඒත් මහ පොළොවේ යථාර්ථය පිළිගැනීමට අප මැලිවිය යුතු නොවේ.එන්.ජී.ඕ බිල්ලා රටේ මතවාදයේ අධිපති වුවද සුනාමි ව්‍යසනයෙන් පසු එන්.ජී.ඕ කළ වැඩ කොටසෙන් දශමයක්වත් කරන්නට ආණ්ඩුවට හැකිවූයේ නැත.මෙහි තේරුම සුනාමි ආධාර ලෙස එන්.ජී.ඕ වලට ලැබුණු මුදල් සියල්ල පීඩාවට පත් ජනයාට ලැබුණු බව හෝ ඔවුන් හොරා නොකෑ බව නොවේ.ඔවුන් හොරු නම් පාලකයින් කම්බ හොරු බවය.හිටපු පාලකයා බව සුනාමි ආධාර තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමෙහි තැන්පත් කර යටිමඩි ගසා ගත් බව නොරහසකි.එහෙව් තත්ත්වයක ජනමාධ්‍ය ආයතනයක් විපතකදී මැදිහත්වීම ලංකාව වැනි කුඩා මාධ්‍ය වෙළඳපොළක් ඇති,දුප්පත් මාධ්‍ය කර්මාන්තයක් ඇති රටක ඉතා සුළුබ්‍රෑන්ඩ් ප්‍රමෝෂන්එකක් මිස වඩා ලාභ ලැබිය හැකි ආයෝජනයක් නොවේ.ලැබෙන්නේ සංකේත ප්‍රාග්ධනයක් පමණි.ජනමාධ්‍යට මේ හිස් අවකාශය හෝ පුරවන්නට හැකිවෙන්නේ පාලකයින් ඇතුළු වගකිව යුත්තන්ගේ නොහැකියාවේ පරිමාව අනුවය.නිදසුනක් ලෙස එදා සුනාමි උවදුරට එන්.ජී.ඕ මැදහත් නොවුණා නම් මේ සා අවම මට්ටමකින් හෝ පීඩාවට පත්වූවන්ට නැඟිටින්න‍ට නොහැකිය.මෙදා ජනමාධ්‍ය මැදිහත් නොවුණානම් පීඩාවට පත්වූ ජනයාට හුළංය.

දින දෙකක් යනතුරුත් ආහාරපාන නැතිව,මරුවා පෙනි පෙනී හිටපු බොහෝ පිරිසක් ගැන පුද්ගලික අත්දැකීම් මං අත්දුටුවෙමි.ඒ බොහෝ අය සම්බන්ධයෙන් මාධ්‍ය මැදිහත්වී බලධාරීන්ට විටෙන් විට කරනු බලපෑම් අහක දැමිය නොහැකි තැනකට ඔවුන් තල්ලු වූයේ අවසාන මොහොතේ හෝ ඉදිරිපත් නොවුණහොත් තොරතුරු දැන්නා මාධ්‍ය මගින් දිගින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එය තමන්ගේ පැවැත්මට බාධාවක් වන නිසා මිස මොවුන් බේරාගැනීමෙන් පිං අත්වන බව ඔවුන් විශ්වාස කළ නිසා නොවේ.දින දෙකක් යනතුරුත් ආපදා කළමනාකරණ ඇමතිට මාධ්‍ය හමුවක් තියා අදහසක් හෝ ප්‍රකාශ කරන්නට බැරිවිය.ජනපතිට අගමැතිට විශේෂ ප්‍රකාශයක් කළේත් දින දෙකකට පසුය.එහෙත් ආපදා ඇමතිගේ ප්‍රකාශයේ පීඩාවට පත් මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන හෝ ජනපති/අගමැතිගේ ප්‍රකාශවල ආපදාවන්ට වෙන් කළ මුදල් ගැන සංඛ්‍යා ලේඛන මිස වෙනයම් ගත යුතු කිසවක් තිබුණේ නැත.සැබවින්ම ඒවා විශේෂ ප්‍රකාශ නොවුණා පමණක් නොව ඒ සියලු තොරතුරු ඒ වනවිටත් රටේ ජනයා දැන සිටියේය.ආපදා කළමනාකරණය කියන්නේ පීඩාවට පත්වූ මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන එකට නොවේ.රටක් පාලනය කිරීම යනු මුදල් වෙන් කිරීම පමණක් නොවේ.අහවල් අහවල් නාලිකාව යයි උඩදැමිය යුතු නැති වුවද එහෙව් නාලිකා හෝ නොතිබුණේ නම් විපතට පත් වූවන්ට බත් පැකැට්ටුවක් වත් ලැබෙන්නේ නැත.සංවිධාන හෝ ආයතනවල නම් ඉස්සරහට දමා නොගත්තද,ෆේස්බුක් එකේ ෆොටෝ නොදැම්මද,පොර ටෝක් නොදුන්නද නිහඬව බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් මේ මොහොතේ වැඩකරන බවද නොකියා බැරිය.කෙටියෙන්ම කිවහැක්කේ මෙයයි.අශ්වයා ගිය පසු ඉස්තාලය වසාදැමීමෙන් පලක් නැතිවා සේම අශ්වයන් නැති තැනක ඉස්තාල පමණක් වසා තබාගැනීමෙන්ද පලක් නැත.
(W3Lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *